බංගලියන්ට එරෙහි සිංහ මෙහෙයුමට පෙර

Asia Cup 2023

244
Asia Cup 2023

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන පළමු තරගය හෙට (31) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

එහි දී තරග බිමට පිවිසෙන්නේ සත්කාරක ශ්‍රී ලංකාව සහ නිමා වූ ආසන්නත ම තරගාවලියේ අනුශූරයන් වූ බංග්ලාදේශයයි.

නවතම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටීමට බංග්ලාදේශය සමත් ව සිටින අතර ඔවුන් මෙවර ආසියානු කුසලානය සඳහා එක් වෙන්නේ ද එම ශ්‍රේණිගත කිරීම් අතර අංක 1 හිමි තුන් ඉරියව් ක්‍රීඩකයා ද කැටිවයි. එබැවින් ශ්‍රී ලංකාවට මෙම තරග මෙහෙයුමේ දී තමන්ගේ උපරිම ශක්තිය යෙදවීමට සිදු වෙනවා නොඅනුමානයි.

කෙසේ වෙතත් රටවල් දෙකේ නිමා වූ ආසන්නත ම එක්දින ජාත්‍යන්තර තරග 5 තොරතුරු අනුව යහපත් මානසිකත්වයෙන් තරග බිමට එක් වීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා.

රට 1 2 3 4 5
ශ්‍රී ලංකාව ජය (NED) ජය  (WI) ජය (ZIM) ජය (NED) ජය (SCOT)
බංග්ලාදේශය ජය (AFG) පරාජය  (AFG) පරාජය (AFG) ජය (NED) ජය (NED)

දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 51ක් නිමා වී ඇති අතර ඉන් තරග 40ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙද්දී තරග 9ක ජයග්‍රහණ බංග්ලාදේශය සතු වුනා. අනෙක් තරග 2 නිමා වන්නේ විසඳුමකින් තොරවයි.

අවසන් වරට දෙරට අතර එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2021 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එරට සංචාරයේ දී වන අතර එම තරගයෙන් ලකුණු 97ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

බංග්ලාදේශය අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කරන්නේ එම තරගාවලියේ ම 2 වැනි තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලත් ලකුණු 103ක ජයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

ආසියානු කුසලානය ආසන්නයේ ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට ම තම ස්ථාන අහිමි වීම ශ්‍රී ලංකාව ලත් විශාල පාඩුවක්. ඒ හේතුවෙන් ම නම් කරන ලද 15 දෙනෙක්ගෙන් යුත් සංචිතයට ප්‍රථම වරට ආසියානු කුසලානයට එක් වෙන ක්‍රීඩකයන් 11 දෙනෙක්ට ම දොරගුළු විවර කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුවට සිදු වෙනවා.


  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක),පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් පතිරණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා බවට පත් වීමට දිමුත් කරුණාරත්න සමත් වෙනවා. වසර 2ක් තිස්සේ එක්දින පිටියෙන් ඈත් කර තැබුණ දිමුත් මේ වසරේ දී නැවත කණ්ඩායම සමඟ එක් වෙමින් තමන් ක්‍රීඩා කළ අවසන් ඉනිම් 5 දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 256ක් රැස් කරනවා. එහි සාමාන්‍ය 51.2ක් ලෙසින් ඉහළ අගයක රඳවා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

එමෙන් ම ආරම්භක පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය ලත් පැතුම් නිස්සංක මේ දිනවල දක්ෂතා අතර සිටම වඩාත් වාසි සහගත වෙනවා. ඔහු නිමා වූ LPL තරගාවලියේ දී Colombo Strikers නියෝජනය කරමින් අවසන් ඉනිම් 5 දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 155ක් ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනාට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ධනංජය ද සිල්වා ද බංග්ලාදේශයට එරෙහි කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කර ගැනීමේ විශ්වාසයක් පවතින අතර පිතිකරුවන් ලෙසින් කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම ද කණ්ඩායමට එක් වීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා.

චරිත් අසලංක ද මෙම කණ්ඩායමට එක් වීමේ ඉඩ කඩක් පැවතිය ද, එසේ වන්නේ නම් ස්ථානය අහිමි වීමේ අවදානමට පත් වෙන්නේ සධීර සමරවික්‍රමයි.

කෙසේ වෙතත් නායක දසුන් ශානක ද සමඟින් පිතිකරුවන් 7 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම තරගයට නම් කෙරෙතැයි සිතිය හැකි. එසේ වෙද්දී දසුන්ට ද පන්දු යවන්නෙක් ලෙසින් වැඩි දායකත්වයක් දැක්වීමට සිදු විය හැකි.

කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නන් ලෙසින් මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ එක්විය හැකි අතර වේගපන්දු යවන්නන් ලෙසින් මතීෂ පතිරණ සහ කසුන් රාජිත කටයුතු කරනු ඇතැයි සිතිය හැකි.

බංග්ලාදේශ කණ්ඩායමේ සූදානම

බංග්ලාදේශය මෙම තරගාවලිය හා එක් වෙන්නේ ආසන්නත ම ඇෆ්ගනිස්තානය හා තරගාවලියේ දී 2-1ක පරාජයක් ලබමින්. ඒ හේතුවෙන් ම ඔවුන් ඇෆ්ගනිස්තාන සංචාරයට එක් වූ කණ්ඩායමේ සුළු වෙනස්කම් කිහිපයක් ද සමඟින් ද ආසියානු කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම නම් කරනවා.


  • බංග්ලාදේශ සංචිතය:Shakib Al Hasan (නායක), Mohammad Naim, Mushfiqur Rahim, Najmul Hossain Shanto, Tanzid Hasan, Towhid Hridoy, Afif Hossain, Mahedi Hasan, Mehidy Hasan Miraz, Shamim Hossain, Ebadot Hossain, Hasan Mahmud, ustafizur Rahman, Nasum Ahmed, Shoriful Islam, Taskin Ahmed, Anamul Haque.

ඒ අනුව නම් කරන ලද බංග්ලාදේශ සංචිතයට පළමුවෙන් පිතිකරුවන් 7 දෙනෙක් ඇතුළත් වූ අතර කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙසින් නම් කරන ලද උප නායක Litton Dash උණ රෝගය හේතුවෙන් මෙරට ට නොපිවිසෙන බවයි ආරංචිය. ඒ හේතුවෙන් 30 හැවිරිදි වියේ පසුවෙන ඉදිරිපෙළ පිතිකරු Anamul Haque කැඳවා තිබෙනවා.

ඔහු බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරග 44ක ඉනිම් 41ක දී පිටියට පිවිසෙමින් ලකුණු 1254ක් ලබා සිටින අතර ඔහු මීට පෙර 2014 වසරේ දී ආසියානු කුසලානයට සහභාගී වෙමින් තරග 4ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 227ක් ලබා ගත් ක්‍රීඩකයෙක්.

කෙසේ වෙතත් ඔහු බංග්ලාදේශ එක්දින කණ්ඩායම සමඟින් එක් වෙන්නේ 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුවයි. ඔහුගේ මේ දක්ෂතාත් සමඟින් ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී ඔහුට අසුනක් වෙන් වේ යැයි සිතිය හැකි.


  • ශ්‍රී ලංකාව එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන බංග්ලාදේශ කණ්ඩායම:Shakib Al Hasan (නායක), Mohammad Naim, Anamul Haque, Najmul Hossain Shanto, Towhid Hridoy, Mushfiqur Rahim (කඩුලු රකින්නා), Afif Hossain, Mehidy Hasan Miraz, Ebadot Hossain, Shoriful Islam, Nasum Ahmed.

අවධානය යොමු කළ යුතු බංග්ලාදේශ ක්‍රීඩකයෝ

Shakib Al Hasan

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල දී අංක 1 තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් අභිශේක ලත් බංග්ලාදේශය නායක Shakib Al Hasan ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙසින් හැඳින්විය හැකි.

ඔහු නිමා වූ කැලැන්ඩර් වසරේ දී ඉනිම් 13ක දී ලකුණු 456ක් සහ කඩුලු 20ක් දවා ගැනීමට සමත් වෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ තරග දිවියේ අවසන් ඉනිම් 5 නම් එතරම් ම සාර්ථක වන්නේ නැහැ. LPL තරගාවලියේ Galle Titans කණ්ඩායම හා එක්ව ගෙවී යන එම තරගවල දී ඔහුට ලබා ගැනීමට හැකි වන්නේ ලකුණු 68ක් සහ කඩුලු 5ක් පමණයි.

2010 වසරේ සිට ආසියානු කුසලාන තරගාවලියන් නියෝජනය කරන ඔහු මේ දක්වා තරග 13කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 3ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 402ක් වන අතර ඊට කඩුලු  19ක් ද එක් කර ගැනීමට සමත් වෙනවා.

Shakibගේ එක්දින ජාත්‍යන්තර දක්ෂතා පෙළ ගැසෙන්නේ තරග 235කට සහභාගී වෙමින් ශතක 9ක් සහ අර්ධ ශතක 53ක් සමඟින් ලබා ගත් ලකුණු 7211ක් සහ කඩුලු 305ක්. මේ අතුරින් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 25කට ක්‍රීඩා කර ඇති ඔහු අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 626ක් සහ කඩුලු 18ක් ලබා සිටිනවා.

Shakib සතුව බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු ලැබූ ක්‍රීඩකයා සේ ම වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ද සතු වෙනවා.

Mushfiqur Rahim

බංග්ලාදේශ කණ්ඩායමේ ඉහළින් ම බලාපොරොත්තු තබා සිටින තවත් ක්‍රීඩකයෙක් ලෙසින් 36 හැවිරිදි වියේ පසුවෙන කඩුලු රකින පිතිකරු Mushfiqur Rahim හැඳින්විය හැකි.

ඔහු අවසන් කැලැන්ඩර් වසරේ දී ඉනිම් 13ක දී ලකුණු 483ක් රැස් කරන්නේ 43.90ක සාමාන්‍යයක් ද රඳවා ගනිමින්. එමෙන් ම ඔහු පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි අවසන් එක්දින ජාත්‍යන්තර ඉනිම් 5 දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 212ක් රැස් කිරීමට සමත් වෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය හා සමඟින් 2008 වසරේ සිට සම්බන්ධ වන ඔහු මේ  දක්වා තරග 21ක ඉනිම් 21ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 699ක් ලබා ගැනීමට සමත් වෙනවා. මේ ලකුණුවල සාමාන්‍ය 36.78ක්.

2018 වසරේ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 144 ඔහුගේ තරග දිවියේ ඉහළ ම දක්ෂතාවයි.

ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 251කට සහභාගී වෙමින් ශතක 9ක් සහ අර්ධ ශතක 45ක් සමඟින් ලකුණු 7257ක් ලබා සිටිනවා. ඒ අතුරින් තරග 33ක ඉනිම් 31ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1020ක් වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

Najmul Hossain Shanto

ශ්‍රී ලංකාවට එරෙහිව පිති අවි රැගෙන ප්‍රබල සටනකට පිවිසෙතැයි සිතෙන ක්‍රීඩකයෙක් ලෙසින් 25 හැවිරිදි වියේ පසුවන වමත් පිතිකරු Najmul Hossain Shanto හැඳින්විය හැකි.

ඔහු මේ දක්වා එක්දින තරග 27ක ඉනිම් 26ක දී පිටියට පිවිසෙමින් ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 639ක් ලබා සිටින අතර ඉන් ලකුණු 450ක් ම රැස් කරන්නේ නිමා වූ කැලැන්ඩර් වසරේ දී වීම විශේෂත්වයක්.

2018 ආසියානු කුසලානයේ තරග 3ක දී බංග්ලාදේශ කණ්ඩායම හා එක් වෙන Najmulට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 20ක් පමණක් වූව ද ඔහුගේ අවසන් එක්දින ඉනිම් 5 ශතකයක් සමඟින් ලකුණු 176කින් සමන්විත වෙනවා. එහි සාමාන්‍ය 35.2ක්.

Najmul ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පිති අමෝරණ පළමු අවස්ථාව මෙයයි.

Ebadot Hossain

දකුණතින් වේගපන්දු යවමින් බංග්ලාදේශ කණ්ඩායමට එක් වූ Ebadot Hossain නිමා වූ කැලැන්ඩර් වසරේ දී ඉනිම 10ක දී කඩුලු 20ක් දවා ගැනීමට සමත් වෙමින් මෑත කාලීන ඉදිරියට පැමිණි ක්‍රීඩකයෙක්.

ඔහු තම අවසන් එක්දින ඉනිම් 5 දී කඩුලු 15ක් එක් කිරීමට ද සමත් වෙනවා. එබැවින් ශ්‍රී ලංකාව හා සමඟ තරගයේ දී ඔහු ද ප්‍රධාන ප්‍රතිවාදියෙක් විය හැකි අතර එවැන්නක් සිදු වන්නේ නම් Ebadot ද ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට පිවිසෙන පළමු අවස්ථාව මෙය විය හැකි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව මේ වෙද්දී තරග 32කට සහභාගී වී ඇති අතර ඉන් තරග 15ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. බංග්ලාදේශය මෙතෙක් මෙම ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කර ඇත්තේ එක් තරගයක් වන අතර එම තරගයෙන් ඔවුන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

කාලගුණ තත්ත්වය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අද (30) මධ්‍යහන 12.00ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ තරගය පවතින දිනයේ දී මධ්‍යම පළාතට ද  විටින් විට වැසි සහිත තත්ත්වයන් ඇති විය හැකි බවයි. එහෙත් එය තරගයට තද බල ලෙසින් බාධා එල්ල වන තරමේ තත්ත්වයක් නොවන බැව් ක්‍රීඩාංගණය අවටින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

මේ තත්ත්වයන් යටතේ තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම ලෙසින් සෑම සැලසුමක් ම ක්‍රියාත්මක කරනු නියතයි. සුළු හෝ පමාවක් කණ්ඩායම් දෙකේ ම පසු බෑමට හේතු විය හැකි වන අතර ඔවුන් කිසිවෙක් ඊට ඉඩ නොතබනු ඇත. ඒ හේතුවෙන් ම ප්‍රේක්ෂකයන්ට වඩාත් උණුසුම් තරගයක් නැරඹීමේ ඉඩ-කඩ විවර වෙනු නියතයි.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය සැප්තැම්බර් මස 05 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<