දැල්පන්දු සභාපති ධුරය නොවෙනස්ව ඉදිරියට

172

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ධුරය සඳහා ඊයේ (31) පැවති ඡන්ද විමසීමේ දී තවත් වසරක් සඳහා එම ධුරයේ වැඩකටයුතු කරන්නට සම්මේලනයේ හිටපු සභාපතිවරිය වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මියට අවස්ථාව හිමි විය. 

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්ට් වයිට් ශ්‍රවණාගාරයේ දී ඊයේ පැවති එම ඡන්ද විමසීමේ දී ක්‍රීඩා සංගම් 22 ඡන්දය හිමිකර ගනිමින් නැවත වරක් එම ධුරයට තේරිපත්වීමට වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය සමත් විය.

නැවත වරක් දැල්පන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ලක්ෂ්මි මහත්මිය ප්‍රකාශ කර සිටියේ, නැවත වරක් එම ධුරයට තේරී පත්වීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත්, විශේෂයෙන්ම මෙවර විධායකයන් තෝරා පත්කර ගැනීමට ඡන්ද විමසීමක් නොපැවැත්වීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත් ය.

තවත් පුවත්: 

“මාව නැවතත් සභාපති ධුරයට පත්කිරීමට සංගම් 22 සහය ලැබීම පිළිබඳව මම සතුටට පත්වනවා. මෙම කොරෝනා වසංගත තත්වය යටතේ අප ඉදිරියට යා යුතුයි. මම ඒ අභියෝගය භාරගන්න සූදානම්, අප තරුණ ක්‍රීඩකයන් ජාතික දැල්පන්දු කණ්ඩායමට ඇතුළත් කරගැනීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම්.

ලබන වසරේ දී ජාත්‍යන්තර තරගාවලියක් සහ 2022 වසරේ දී ආසියානු දැල්පන්දු තරගාවලිය මෙරට දී පැවැත්වීමට අවසර ලබාගැනීමට අප බලාපොරොත්තුවෙන් පසුවනවා. මීට අමතරව මෙරට දැල්පන්දු ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන සියලුම දෙනාට අවශ්‍ය සහයෝගය ලබා දීමට ද කටයුතු කරනවා” යැයි ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මීට අමතරව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් ලෙස චම්පා ගුණරත්න මහත්මියත්, උප සභාපතිනිය ලෙස ටී. එම්. පී. කුමාරිහාමි මහත්මියත්, භාණ්ඩාගාරික ලෙස පත්මිණි හොරනගේ මහත්මියත් තේරී පත්විය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<