අම්බලන්ගොඩට ක්‍රීඩකයන් එපා ද?

4889

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ මේසපන්දු ක්‍රීඩාව පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන අම්බලන්ගොඩ නගරයේ ප්‍රධානතම ක්‍රීඩාංගණය වූ නගර සභා ක්‍රීඩාංගණය නවීකරණය කිරීම ඇරඹුණේ 2016 ඔක්තෝබර් මාසයේ දී යි. අම්බලන්ගොඩ නගරය පුරා විසිරී පැතිරී සිටින සුවහසක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් සැපයූ එය තවමත් ඉදිකිරීම් මට්ටමේ පැවතීම නිසා එහි ක්‍රීඩාව නිදන්ගත වන තත්වයකට පැමිණ ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තායිලන්තයට

2 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය මැයි මස 20 වන දින සිට 23 වන දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත අතර එයට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනා 17 වැනි දා තායිලන්තය බලා පිටත්ව ගියේය.

ඒ හේතුවෙන් මේ වසරේ දී 50 වන වසර සමරන “සුනිල මහා සංග්‍රාමය” මාස දෙකකින් කල් ගිය අතර එළඹෙන 20 වෙනිදා එය පැවැත්වෙන්නේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී යි. එම නිසා ප්‍රදේශයේ පුහුණුකරුවන්, ක්‍රීඩකයන් සේම ක්‍රීඩාලෝලීන් ද මහත් ගැටලුවකට පත්ව ඇත.

කාලයක් මුළුල්ලේ රටට ක්‍රීඩකයන් දායාද කළ අම්බලන්ගොඩ නගරය, කොළඹට ක්‍රීඩකයන් නිර්මාණය කිරීමේ තෝතැන්නකි. ඊට උදාහරණ වශයෙන් අම්බලන්ගොඩ ඉපදී කොළඹට සංක්‍රමණය වූ උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, සම්මු අශාන්, නිලූක කරුණාරත්න, ඉෂාරා මධුරංගි වැනි නම් කිහිපයක් සිහිපත් කළ හැකිය. එහෙත් පවතින තත්වය හේතුවෙන් නවක ක්‍රීඩකයන්ට තම දක්ෂතා වර්ධනය කර ගැනීම සඳහා පුහුණු වීමට ක්‍රීඩාංගණයක් පවා අහිමි ව ඇත.

ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් අතර ප්‍රමුඛයන් වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයත්, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයත් මේ ගැටලුව නිසා කරදරයට පත්ව සිටින ප්‍රධාන පාර්ශව දෙකකි. “50 වැනි සුනිල මහා සංග්‍රාමය” ගැන මාධ්‍ය දැනුවත් කිරීම උදෙසා පසුගිය මැයි 16 වැනිදා කොළඹ දී පැවති හමුවේ දී මේ පිළිබඳව කතාබහට ලක්විය.

“අගනගරයේ දී අප මේ මාධ්‍ය හමුව පවත්වන්නට හේතුවක් තියෙනවා. 50 වෙනි වැදගත් තරගය පවත්වන්නට අපට ගම පහුකරලා කොළඹට එන්න සිදුවුණා. මහා ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ වසරේ පළමු මාස 3 ඇතුළත වුණත් දැන් 2017 පස්වෙනි මාසයත් ඉක්ම ගිහින් තරගය පවත්වන්න අපට අම්බලන්ගොඩ ක්‍රීඩාංගණයක් නෑ. 50 වෙනි වසර සුවිශේෂී නිසා ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේ තරගය අපේ ගමේ දී ම පවත්වන්න. ඒත් වසර 1 1/2ක් වගේ කාලයක් අපි ක්‍රීඩාංගණයක්  නැතිව බලන් ඉන්නවා.” ධර්මාශෝක විද්‍යාලාධිපති හසිත කේසර මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට මූලාරම්භයක් සපයා ගත්තේ එසේයි.

“මුළු නගරයේම ජනතාව උද්යෝගයෙන් එකතු වෙන ඉසව්වක් තමයි මේ. ඒත් මේ පාසල් දෙකේම ක්‍රීඩකයන් දස්කම් දක්වන්නේ ක්‍රීඩාංගණයක්වත් නැතුවයි.”

ඔහු එසේ කියන විට සිතට නැගෙන්නේ කණගාටුදායක හැඟීමකි. ඒ මන්ද යත් කොළඹින් පිටට ක්‍රීඩාව ගෙන යන්නට අවශ්‍ය බව කියමින් බොහෝ ක්‍රීඩා බලධාරීන් වේදිකාවල කතා පවත්වද්දී කොළඹින් පැය එක හමාරක දුර ඇති ක්‍රීඩාශීලී අම්බලන්ගොඩට ක්‍රීඩාංගණයක් පවා අහිමිව තිබීමයි.

ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතුවලට මුදල් වෙන්කොට තිබෙන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවයි. රු.මිලියන 10.37ක මුදලක් ඒ සඳහා වෙන්වී ඇති බව ද දැන ගන්නට ලැබේ. කෙසේ වෙතත් අම්බලන්ගොඩ නගර සභාව පවසන්නේ එහි නවීකරණය පමා වීම පිළිබඳව තමන් වගනොකියන බවයි. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැන ගන්නට ලැබෙන පරිදි ගාලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මේ පිළිබඳව වගකීම පැවරේ.

“ඉතාමත් ආසන්න ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට පමා වීම නිසා පුහුණුකරුවන්ටත් ලොකු ගැටලුවක් ඇති වුනා. පාසල් ක්‍රීඩා උළෙල පැවැත්වීමටත් මේ වසරේ නොහැකි වුනා.” ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය විදුහල්පති උපුල් ද සිල්වා මහතා විසින් පවතින ගැටලුකාරී තත්වය පැහැදිලි කෙරුණේ එසේයි.

මෙසේ ගැටලුකාරී තත්වයකට ප්‍රාදේශීය ක්‍රීඩාලෝලීන් පත්ව ඇත්තේ නවීකරණ ව්‍යාපෘතියේ පළමු අදියර පමණක් අවසන්ව ඇති පසුබිමකදීයි. දෙවන අදියර සඳහා අවශ්‍ය රු.මිලියන 29ක මුදල වෙන්වී ඇති බව ද වාර්තා වූයේ ඉකුත් ජනවාරි මාසයේදීයි.

ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍යයෙකු පැවසූ පරිදි ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙන්කර ගැනීමට නම් ඔවුන්ට රු. ලක්ෂ 7 1/2 ක මුදලක් අවැසි බවයි. ඊට ඇති මුල්‍යමය බාධා හේතුවෙන් තරගය ද සොයිසා ක්‍රීඩාංගණය තෙක් රැගෙන ආ බව ඔහු කීවේය.

සෑම පාසලක්ම එකසේ මූල්‍යමය මට්ටමින් සමාන නැත. එබැවින් බලධාරීන්ගේ වගකීම වන්නේ ප්‍රාදේශීය ක්‍රීඩාංගණ නවීකරණය කිරීම් අරඹනවා සේම ඒවායේ ප්‍රගතිය මැනබැලීමයි. නිසිකාලයේ දී එය ඉටු නොවන්නේ නම් ඒ මන්දැයි විමසීමයි.

එසේ සිදු නොකොට ගමේ ක්‍රීඩාව නැංවීම ගැන පාරම්බෑම විහිළුවක් බව ද මෙහිලා සටහන් කළ යුත්තේ අම්බලන්ගොඩට අහිමි වූ මේ ක්‍රීඩාංගණය අරඹයා පමණක් නොව, අම්බලන්ගොඩටත් වඩා දුෂ්කර සහ දරිද්‍රතාවෙන් පෙළෙන නගරවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවන් අලස නවීකරණයන් නිසා කෙතරම් අපහසුතාවයන්ට ලක්වන්නේ දැයි සිතා බැලීමේ දී ය.      

මෙවන් අලසකම් නිසා සම අයිතිවාසිකම් ලැබීමේ ක්‍රීඩක අයිතීන් උල්ලංඝනය වනවා සේම රටට බිහිවිය හැකි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් පහළ යෑම ද සිදු වන බැව් සහතික ය. එබැවින් මේ ගැන අදාළ බලධාරීන් නෙත් යොමු කරන්නේ නම් එය මුළුමහත් රට වෙනුවෙන්ම දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමේ පියවරක් වනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට