7-0ක ජය ඉදිරියට යෑම වැළැක්වීමට දසුන්ලාගේ සැලසුම

4121

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය පාකිස්තානය සමඟින් අද (10) Hyderabad හි Rajiv Gandhi ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ 8 වැනි තරගයයි.

ශ්‍රී ලංකාව මෙම තරගයට සහභාගී වෙන්නේ දෙරට ලෝක කුසලාන තරග ඉතිහාසයේ දී මෙතෙක් පාකිස්තානය හමුවේ එකඳු හෝ තරගයක් ජය ගත නොහැකි වූ පසුබිමකයි. ඔවුනොවුන් ලෝක කුසලාන තරග 7ක දී එකිනෙකා හමුව ඇති අතර ඒ සෑම අවස්ථාවක ම ජයග්‍රහණය කිරීමට සමත් වෙන්නේ පාකිස්තානයයි.

ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානයේ ජයග්‍රහණ පෙළ ගැස්ම
වසර ක්‍රීඩාංගණය
1 1975 පාකිස්තානයට ලකුණු 192ක ජයක්. Trent Bridge, Nottingham
2 1979 එකිනෙකා හමුවෙන්නේ නැහැ
3 1983 පාකිස්තානයට ලකුණු 50ක ජයක්. St Helen’s, Swansea
4 පාකිස්තානයට ලකුණු 11ක ජයක්. Headingley, Leeds
5 1987 පාකිස්තානයට ලකුණු 15ක ජයක්. Niaz Stadium, Hyderabad
6 පාකිස්තානයට ලකුණු 113ක ජයක්. Iqbal Stadium, Faisalabad
1992 පාකිස්තානයට කඩුලු 4ක ජයක් WACA Ground, Perth
1996 එකිනෙකා හමුවෙන් නැහැ
1999 එකිනෙකා හමුවෙන්නේ නැහැ
2003 එකිනෙකා හමුවෙන්නේ නැහැ
2007 එකිනෙකා හමුවෙන්නේ නැහැ
7 2011 පාකිස්තානයට ලකුණු 11ක ජයක් කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
2015 එකිනෙකා හමුවෙන්නේ නැහැ
2019 එකිනෙකා හමුවෙන්නේ නැහැ

 1975 වසරේ සිට දිවෙන දෙරට එක්දින තරග ඉතිහාසයේ මෙතෙක් තරග 81ක් පවත්වා ඇති අතර ඉන් තරග 38ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙද්දී, තරග 40ක ජයග්‍රහණ සතු කර ගැනීම ප්‍රතිවාදීන් සමත් වෙනවා. ඊට නොවිසඳුණ තරග 2ක් සහ ලකුණු සම වීමෙන් අවසන් වූ තරගයක් ද ඇතුළත්.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සහභාගී වූ අවසන් එක්දින තරග ත්‍රිත්වයේ දී පාකිස්තානය තරග 2ක් ද සහ ශ්‍රී ලංකාව තරගයක් ද ලෙසින් ජයග්‍රහණය කරන තිබෙනවා. දෙරට අතරින් අවසන් වරට ජයග්‍රහණය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවයි. ඒ මෙරට දී නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ තරගයකදීයි.

  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, ඩිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ.
  • පාකිස්තාන සංචිතය: Babar Azam (නායක), Shadab Khan, Fakhar Zaman, Imam-ul-Haq, Abdullah Shafique, Mohammad Rizwan, Saud Shakeel, Iftikhar Ahmed, Salman Ali Agha, Mohammad Nawaz, Usama Mir, Haris Rauf, Hasan Ali, Shaheen Afridi, Mohammad Wasim.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

නිමා වූ තරගයේ දී ලෝක කුසලාන ඉතිහාසයට වාර්තා එක් කරමින් පරාජය වූව ද, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ යම් පිබිදීමකින් යුත් තරගයක් ලෙසින් එය හැඳින්විය හැකියි. එබැවින් එවැනි පිතිහරඹයක් මෙම තරගයේ දී සිදු වනු ඇතැයි ක්‍රිකට් ප්‍රේක්ෂක අපගේ බලාපොරොත්තුවයි.

නමුත් තරගයේ පාලනය සියතට ගැනීමට නම් මෙම තරගයේ දී පන්දු යවන්නන්ගේ යම් පාලනයක් සිදු විය යුතුමයි.

ඒ වෙනුවෙන් ඇති ඉහළම බලාපොරොත්තුව ආබාධයක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ මහීෂ් තීක්ෂණ, මෙම තරගයේ දී ස්ථිරව ම ක්‍රීඩා කරනු ඇති බවට එරටින් ලැබෙන ආරංචියයි.

මහීෂ්ගේ ආගමනයත් සමඟින් පෙර තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්ට මෙම තරගයේ දී වතුර ඇදීමට සිදු වනු ඇති අතර, ඒ බොහෝ විට වේගපන්දු යවන්නෙක්ට විය හැකි. එසේ  වුවහොත් පෙර තරගයේ දී යම් තරමකින් බේරි පන්දු යැවූ දසුන් ශානකට මෙම තරගයේ දී ඊටත් වඩා වැඩි පන්දු ප්‍රමාණයක් යැවීමට සිදු වෙනු නියතයි. නිමා වූ තරගයේ දී පන්දු යවන්නන් 6 දෙනෙක් උපයෝගී කර ගත් අතර ඒ අතරින් පන්දුවාරයක සාමාන්‍ය 6කින් බේරීමට හැකි වූයේ දසුන්ට පමණයි. අනෙකුත් අයගේ පන්දු යැවීමේ සාමාන්‍ය ලකුණු 8 ඉක්මවා ගියා.

මේ වන විට බලාපොරොත්තු සහගත පිතිකරණ ලැයිස්තුවක් නිර්මාණය වී තිබීම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ නොමද ආශ්වාදයට ලක්ව තිබෙනවා. ඉන්දියාව හමුවේ ලකුණු 50කට තම ඉනිම පූජා කර ගෙවී ගිය 20 වැනි දිනයේ දී ලකුණු 326ක දැවැන්ත ඉනිමක් ගොඩනැගීමට තරම් ඒ දක්ෂතා මුහත්වීම, ශ්‍රී ලංකා කණ්ඩායමේ “තරම” ආරක්ෂා කර ගැනීමක් වුනා.

එහි දී සුපුරුදු ලෙසින් ම කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු අතරට පිවිසෙමින් පෑ දක්ෂතා අතරට දසුන් ශානකගේ පැමිණීම ද අගය කළ යුතුයි. දසුන් නිමා වූ තරගයේ දී ලබා ගත් අර්ධ ශතකය ඉනිම් 17කට පසුව වාර්තා වූවක්!

  • පාකිස්තානයට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මධුශංක/ කසුන් රාජිත.

පාකිස්තානයේ සූදානම

පාකිස්තානය මෙම තරගයට පිවිසෙන්නේ මෙවර ලෝක කුසලානයේ තම මංගල තරගය ද එම ක්‍රීඩාංගණයේ දී ම ක්‍රීඩා කරමින් ලත් අත්දැකිම් සමඟින්. එමෙන් ම ඔවුන් එම තරගයේ දී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 81ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර එහි වාසිය ද ඔවුන් සතුයි.

එම තරගයේ දී පිතිකරුවන්ලෝක කුසලානයට එන ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ම රැඳෙන ක්‍රීඩකයින් ලෙසින් Mohammad Rizwan (68) සහ Saud Shakeel (68) දක්ෂතා දැක්වූ අතර  පන්දු යවන්නන් ලෙසින් Haris Rauf (3/43) සහ Hasan Ali (2/33) දක්ෂතා දැක්වීම කැපී පෙනුණා. එම දත්ත කණ්ඩායමේ සමබර තත්ත්වයක් පෙන්නුම් කරනවා.

එබැවින් ශ්‍රී ලංකාව හා සමඟ තරගයේ දී ද බොහෝ විට නෙදර්ලන්තයට එරෙහිව පා ආවරණ පැළඳි ක්‍රීඩකයෝ ම මෙම තරගයේ දී ද පිටියට පිවිසෙතැයි අනුමාන කළ හැකි.

ඔවුන් අතරින් ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ම සිටිනවා. එහි පළමුවැන්නා, නායක Babar Azam. ඔහු මෙම තරගයට එක් වෙන්නේ ලෝකයේ අංක 1ට ශ්‍රේණිගත වූ එක්දින පිතිකරුවා ලෙසයි.

ඊට අමතරව Mohammad Rizwan ද කෙනෙක්. දකුණත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන ඔහු තමන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර එක්දින ඉනිම් 10 දී ලකුණු 386ක් ලබා ගන්නේ අර්ධ ශතක 4ක් සහ තරගය සාමාන්‍ය 48.25ක වැනි ඉහළ අගයක් රඳවා ගනිමින්.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් පාකිස්තාන කණ්ඩායම හා එක්ව සිටින Iftikhar Ahmed ද එවැන්නෙක්. ඔහුගේ අවසන් ජාත්‍යන්තර එක්දින ඉනිම් 10 ලකුණු එකතුව ලකුණු 367ක්. ඊට ජාත්‍යන්තර පිටියේ තම හොඳම ඉනිම ද එක් කිරීමට ඔහු සමත් වෙනවා.

පාකිස්තාන පන්දුයවන්නන් අතරින් ශ්‍රී ලංකාවට හිසරදයක් වෙතැයි අනුමාන කෙරෙන පන්දු යවන්නන් අතර Haris Raufට හිමි වෙන්නේ ප්‍රමුඛ තැනක්. ඔහු තම අවසන් ජාත්‍යන්තර ඉනිම් 10 දී කඩුලු 26ක් ලබා ගනිමින් භීෂණය මවමින් සිටිනවා.

ඊට අමතර Shaheen Shah Afridiව ද පාකිස්තානය වෙනුවෙන් හොඳටම කර පෙන්වූ පන්දු යවන්නෙක් ලෙසින් නම් කළ හැකි. ඔහු තමන්ගේ අවසන් ජාත්‍යන්තර එක්දින ඉනිම් 10 දී කඩුලු 20ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

  • ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට පිවිසෙතැයි අනුමාන කෙරෙන පාකිස්තාන කණ්ඩායම: Babar Azam (නායක) Fakhar Zaman, Imam-ul-Haq, Mohammad Rizwan (කඩුලු රකින්නා), Saud Shakeel, Iftikhar Ahmed, Shadab Khan, Mohammad Nawaz, Hasan Ali, Shaheen Shah Afridi සහ Haris Rauf.

Rajiv Gandhi International Stadium, Uppal, Hyderabad

2005 වසරේ සිට එක්දින ජාත්‍යන්තර තරග වෙනුවෙන් විවෘත වූ මෙම ක්‍රීඩාංගණයේ දී මීට පෙර පවත්වා ඇත්තේ තරග 9ක් පමණයි. ඉන් තරග 7ක් ම ඉන්දීය කණ්ඩායම සහභාගී වූ තරග වන අතර අනෙක් තරග 2 මෙවර ලෝක කුසලාන තරගයි.

නිමා වූ එම තරග 2 දී ම පළමුවෙන් පන්දුවට පහර දුන් ක්‍රීඩකයෝ ලකුණු 280 සීමා ව ඉක්මවා යන අතර ඊට පෙර පැවති තරග වැඩි ප්‍රමාණයක දී ද මෙම ක්‍රීඩාංගණය “ලකුණු” සහිත වූවක් බැව් පෙන්වා තිබෙනවා. ඒ අතර පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 280 ඉක්මවා ගිය ඉනිම් 6ක් තිබෙනවා.

ශ්‍රී ලංකාව මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ දී තරගයකට එක් වී ඇත්තේ 2014 වසරේ දී. ඉන්දියාව සමඟ පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා.

කාලගුණ තත්ත්වය

තරගය පැවැත්වෙන මෙම ක්‍රීඩාංගණය අවට අද දවස තුළ සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතින බැව් පැවසෙන අතර විටින් විට අඳුරු වලාකුළු අහසේ දිස්විය හැකි වූව ද ඊට වර්ෂා තත්ත්වයක් ඇතුලත් නොවන බවයි දැක් වෙන්නේ.

මෙම තරගයේ දී ක්‍රීඩකයන්ට ළඟා විය හැකි කඩඉම්

  • මහීෂ් තීක්ෂණ: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 6ක් පමණයි.
  • Imam-ul-Haq: එක්දින ජාත්‍යන්තර ලකුණු 3000ක් ලබා ගැනිම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 9ක් පමණයි.
  • Hasan Ali: එක්දින ජාත්‍යන්තර කඩුලු 100ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 7ක් පමණයි.
  • Mohammad Nawaz: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 9ක් පමණයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<