Tuskers අලුත්ම අවිය Dale Steyn අද තරග බිමට!

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

188
(Photo by Ryan Pierse/Getty Images)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග කීපය අද (09) සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ තරමක පසුබෑමකට ලක්ව සිටින Kandy Tuskers කණ්ඩායමට නව බලාපොරොත්තුවක් එක් කරමින් දකුණු අප්‍රිකානු ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක Dale Steyn අද කණ්ඩායමට එක්වීමට නියමිතය. 

තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වීම සහ තරගාවලියේ බලාපොරොත්තු පිළිබඳව අදහස් දැක්වීමට Dale Steyn පසුගිය දා එක්ව තිබුණි.

“මම මේ දවස්වල ස්වයං නිරෝධායනයේ හිටියේ. ඊයේ තමයි ඒ කාලය ඉවර වුනේ. අද මම නිල වශයෙන් පුහුණුවීම් පටන්ගත්තා. ගොඩක් සතුටුයි තරගාවලියට සහභාගී වෙන්න ලැබීම ගැන.”

දින කීපයක ස්වයං නිරෝධායනයට ලක්ව සිටි ඔහු නැවත ක්‍රීඩා කිරීමට පැමිණීමේ දී ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම පිළිබඳව ද අදහස් දක්වා සිටියේය. 

“ටෙස්ට් තරග ක්‍රීඩා කරද්දී අපි අපේ යෝග්‍යතාව පවත්වා ගන්නේ තරගය ක්‍රීඩා කරලා. දවස් පහක් ක්‍රීඩා කරන එකෙන් අපේ යෝග්‍යතාව හැදෙනවා. ඒත් 2020 අවුරුද්ද ගත්තම අපිට ගොඩක් තරග තිබුණේ නැහැ. ඉතින් යෝග්‍යතාව පවත්වා ගන්න එක ගොඩක් අමාරු වුනා. මගේ ක්‍රීඩා දිවියේ මට ගොඩක් දක්ෂ සහ ගොඩක් හොඳ පුහුණුකරුවන් හිටියා. ඔවුන් මට හැමවෙලේම කිව්වේ මගේ යෝග්‍යතාව තියාගන්න මම මහන්සි වෙන්න ඕනේ කියලා. මම හිතනවා ක්‍රීඩකයන් විදිහට අපි හැමෝම ඒක අනුගමනය කරන්න ඕනේ කියලා.”

තවත් ක්‍රිකට් පුවත්:

වසර කීපයක දේශීය ලීග් තරගාවලි නියඟය නිමා කරමින් ඇරඹි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳව Dale Steyn පවසා සිටියේ මෙවැන්නක්. 

“ගොඩක් සතුටුයි මේ තරගාවලියට සහභාගී වෙන්න ලැබීම ගැන. ගොඩක් හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. මම කලින් තරග හැම එකක්ම වගේ බැලුවා. ඇත්තෙන්ම ඉතාමත් හොඳ තරගාවලියක් කියලා කියන්න පුළුවන්. තරගාවලියට සහභාගී වෙන එක ගොඩක් විනෝදයි වගේ. මම බලාගෙන ඉන්නවා ඊළඟ තරගය ක්‍රීඩා කරන්න.”

තරගාවලිය තුල මෙතෙක් සහභාගී වූ තරග 6න් 5ක්ම පරාජය වූ Kandy Tuskers කණ්ඩායමට තවත් තරග දෙකක් ඉතිරිව ඇති අතර ඔවුන්ට තවමත් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තබා ගත හැක. ඉදිරි තරග බලාපොරොත්තු පිළිබඳව ද Steyn සිය අදහස් ප්‍රකාශ කළේය. 

“අපිට තවත් තරග දෙකක් තියනවා. ඒ තරග දෙක ජයග්‍රහණය කළොත් අපිට පුළුවන් අවසන් පූර්ව වටයට යන්න. ඊළඟ තරග දෙක ජයග්‍රහණය කළොත් මම හිතනවා අපේ මානසික මට්ටම හොඳ තත්ත්වයකට ඒවි කියලා. ඒක ලොකු දෙයක් වේවි අවසන් පූර්ව වටයට. අපි හිතනවා අපිට ඒක කරන්න පුළුවන් කියලා.”

දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ ප්‍රබලතම වේගපන්දු යවන්නෙකු ලෙස සැලකෙන Dale Steyn විස්සයි විස්ස තරග 47ක් තුල කඩුලු 64ක් දවා ගැනීමට සමත්ව තිබේ. 

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා Royal Challengers Bangalore නියෝජනය කළ Dale Steyn එහි දී එතරම් සාර්ථක වීමට සමත්වූයේ නැත. කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු නොවූ Dale තරගාවලිය තුල දවාගෙන තිබුණේ එක් කඩුල්ලක් පමණි. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (08) කිසිදු තරගයක් නොපැවැත්වුනු අතර අද දිනයේ දී Dambulla Viiking සහ Galle Gladiators අතර තරගය සහ Jaffna Stallions සහ Kandy Tuskers අතර තරගය පැවැත්වීමට නියමිතව තිබේ. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<