මංගල FFSL සභාපති කුසලානය Colombo පාපන්දු සමාජයට

313
Colombo FC Champions of Vantage FFSL President’s Cup 2020

Colombo FC සහ Blue Eagles SC කණ්ඩායම් අතර අද (02) දින පස්වරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මංගල FFSL සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ Colombo FC ක්‍රීඩකයින් එම තරගය ගෝල 4-0ක් වශයෙන් පහසුවෙන් ජයග්‍රහණය කරමින් තරගාවලියේ ශූරතාවය දිනාගන්නට සමත් විය. 

Blue Eagles සහ Java Lane පාපන්දු සමාජය අතර පැවති තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කණ්ඩායම් දෙකම ගෝල 2 බැගින් වාර්තා කරගනිමින් අවසන් වීමත් සමඟ පැවති දඬුවම් පහර වටය දඬුවම් පහර 4-3ක් ලෙස ජයග්‍රහණය කරමින් Blue Eagles ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගත්හ. අනෙක් පසින් Colombo FC සහ Red Stars FC කණ්ඩායම් අතර පැවති දෙවන අවසන් පූර්ව තරගය ද ගෝල 2-2ක් ලෙස ලකුණු තත්වය සම වෙමින් අවසන් වූ අතර එහිදී පවත්වනු ලැබූ දඬුවම් පහර වටය දඬුවම් පහර 3-2ක් ලෙස ජය ගනිමින් Colombo FC ක්‍රීඩකයින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

කණ්ඩායම් දෙකම අවසන් මහා තරගය ආරම්භයේ දී දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට සමත් වුවත් ඔවුන්ට ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට හැකියාවක් ලැබුනේ නැත.

කෙසේ නමුත් තරගය ඉදිරියට යත්ම Colombo FC ක්‍රීඩකයින් ප්‍රතිවාදීන් හට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් පන්දුව ඉදිරියට රැගෙන යන්නට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 31 වන මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට ඔවුන් සමත් විය. එහිදී ශබීර් රසූනියා ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා කරගනු ලැබුවේ අහමඩ් ශස්නි විසිනි.

එතැන් පටන් පළමු අර්ධය පුරාවට තරගයේ පාලනය තමන් සතුකර ගත් Colombo FC ක්‍රීඩකයින් ඉන් අනතුරුව ද ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගනු ලැබුවත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. එහිදී සර්වාන් ජොහාර් හට මෙන්ම මොහොමඩ් ෆාසාල් හට ඉතා පහසු අවස්ථාවන් ද්විත්වයක් හිමි විය. එහිදී සර්වාන් එල්ල කළ පහරක් ගෝල රාමුවේ වැදී ප්‍රතිවාදී ගෝල රකින ක්‍රීඩක රුවන් අරුණසිරි හට යොමු වූ අතර ෆාසාල් විසින් ප්‍රතිවාදී ආරක්‍ෂක ක්‍රීඩකයින් ඉතා විශිෂ්ට ලෙස පසුකර පන්දුව ගෝල රාමු කලාපය තුළට රැගෙන යමින් එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට යොමුවීමෙන්  එම අවස්ථාවන් ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

පළමු අර්ධය නිමාවන්නට ඉතා ආසන්නයේ දී අරුණසිරි ගෝල රාමුවෙන් ඉවත සිටිය දී ෆාසාල් විසින් ඒ දෙසට එල්ල කළ පහරක් ඉතා දක්‍ෂ ලෙස ගෝල රාමුව ඉතා ආසන්නයේ දී ඉවතට යොමු කරන්නට Blue Eagles ආරක්‍ෂක ක්‍රීඩක හර්ෂ ප්‍රනාන්දු සමත් විය. අනතුරුව පන්දුව ලබාගත් රසූනියා එල්ල කළ පහර නැවතත් ගෝල රාමුව තුළට පැමිණි අරුණසිරි විසින් විශිෂ්ට ලෙස ඉවතට ඇද දැමුවේ Colombo FC ක්‍රීඩකයින් හට ගෝලයක් වාර්තා කරගැනීමට හිමි වූ තවත් අවස්ථාවක් ව්‍යර්ථ කර දමමිනි.

පළමු අර්ධය: Blue Eagles ක්‍රීඩා සමාජය 0 – 1 Colombo පාපන්දු සමාජය 

දෙවන අර්ධයේ දී Colombo FC ක්‍රීඩකයින් පන්දුව ඔවුන් සතුව තබාගනිමින් ගෝලයක් වාර්තා කරන්නට උත්සාහ දරන විට අනෙක් පසින් Blue Eagles ක්‍රීඩකයින් ඉක්මන් අවස්ථාවන් සහ දුර සිට පහරවල් එල්ල කරමින් ගෝලයක් රැස්කර ගන්නට උත්සාහ කළේය. කෙසේ නමුත් ආරම්භක මිනිත්තු කිහිපය තුළදී දෙපිළේම එම උත්සාහයන් සාර්ථක වූයේ නැත.

නමුත් දිගින් දිගටම සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කළ Colombo FC ක්‍රීඩකයින් අනතුරුව ඒ හරහා නැවතත් සාර්ථකත්වයට පත්වූයේ Corner අවස්ථාවක් හරහා සර්වාන් ගෝල රාමු කලාපය තුළට යොමුකළ පන්දුව Momas Yapo විසින් ඉතා දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා කරගනිමිනි.

ඉන් අනතුරුව ද Colombo FC ක්‍රීඩකයින් හට ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම හිමිවූ අතර එහිදී දෙවන වරටත් ක්‍රියාත්මක වූ ශස්නි තරගයේ 82 වන මිනිත්තුවේ දී සිය කණ්ඩායමේ තෙවන ගෝලය ද වාර්තා කරගනු ලැබුවේ ෆාසාල් ලබාදුන් පන්දුවකට ඔහු එල්ල කළ පහරක් ප්‍රතිවාදී ක්‍රීඩක ශානක විජේසිංහගේ පාදයේ වැදී ගෝල රාමුව තුළට යොමුවීමත් සමඟ යි.

පසුව තරගය අවසන් වන්නට ආසන්නව තිබිය දී ක්‍රියාත්මක වූ තරගය පුරාවට ඉතා දක්‍ෂ ක්‍රීඩා විලාශයක් දියත් කළ රසූනියා ඉතා විශිෂ්ට ලෙස තරගයේ ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ ඔහුගේ නම ද සටහන් කරගත්තේ සිය  කණ්ඩායමට මෙම තරගයෙන් ගෝල 4-0ක ප්‍රබල ජයග්‍රහණයක් හිමිකර දෙමින්, ඉතිහාසයේ ප්‍රථම වරට පැවැත්වූ FFSL සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය ද Colombo FC කණ්ඩායමට හිමිකර දෙමිනි.

සම්පූර්ණ කාලය: Blue Eagles ක්‍රීඩා සමාජය 0 – 4 Colombo පාපන්දු සමාජය

ගෝල ලාභීන්:  

Colombo පාපන්දු සමාජය – අහමඩ් ශස්නි (31’, 82’), Momas Yapo (69’), ශබීර් රසූනියා (90’) 


>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<