Neymarට තරග තහනමක්

132
Neymar
Image Courtesy: CGTN

ප්‍රංශ පාපන්දු ලීගයට අදාළව පසුගිය දා Marseille සහ PSG අතර පැවති තරගයේ දී PSG ඉදිරිපෙළ ක්‍රීඩක Neymar විසින් Marseille පසුපෙළ ක්‍රීඩක Alvaro Gonzalezගේ හිසට පහර දීම නිසාවෙන් රතු කාඩ් පතක් ලබා දී තරගයෙන් ඉවත් කිරීමට තරගයේ විනිසුරුවරයා කටයුතු කළේය.

එම ක්‍රියාව නිසාවෙන් Neymar හට තරග දෙකක තහනමක් පැනවීමට බලධාරීන් කටයුතු කර ඇති අතර තමන්ට Alvaro Gonzalez විසින් වාර්ගිකව නින්දා කළ බවට Neymar විසින් සිදු කළ චෝදනාව පිළිබඳව ද ප්‍රංශ ලීගයේ බලධාරීන් විමර්ශන අරඹා ඇත.

VAR තාක්ෂණය භාවිතා කරමින් විමර්ශනය කරන ලෙස Neymar ඉල්ලා සිටි නමුත් මෙම චෝදනා සියල්ල Alvaro Gonzalez විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

එම තරගයේ දී ක්‍රීඩකයන්ට රතු කාඩ් පත් පහක් ලබාදීමට විනිසුරුවරයා කටයුතු කළ අතර Neymarට අමතරව කාඩ් පත් ලබා ගත් PSG ක්‍රීඩකයන් වන Layvin Kurzawa සහ Leandro Paredes හට පිළිවෙළින් තරග හයක සහ දෙකක තහනමක් පැනවීමටත්, අනෙකුත් රතු කාඩ් පත් ලබා ගත් Marseille ක්‍රීඩකයන් වන Jordan Amavi සහ Dario Benedetto හට පිළිවෙළින් තරග තුනක සහ එක් තරගයක තහනමක් පැනවීමට බලධාරීන් කටයුතු කළේය.

තවත් පාපන්දු පුවත්:

එම වර්ගවාදී චෝදනාව පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව Ligue de Football Professionnel මගින් තහවුරු කර ඇති අතර මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් PSG ක්‍රීඩා සමාජය සඳහන් කර සිටියේ මේ අවස්ථාවේ දී ඔවුන් විසින් තම ක්‍රීඩකයන්ට ශක්තිමත්ව සහයෝගය ලබා දෙන බවයි.

එම සිදුවීම පිළිබඳව සටහනක් තබමින් Marseille ක්‍රීඩා සමාජය සඳහන් කර තිබුණේ Alvaro Gonzalez කිසි විටෙකත් ජාතිවාදීව කටයුතු කරන ක්‍රීඩකයෙකු නොවන බවත්, ඔහු කණ්ඩායමට එක් වීමෙන් පසු ඔහුගේ හැසිරීම මගින් ඔහු එය මනාව ඔප්පු කළ බවත් සහ එය පිළිබඳව ඔහුගේ කණ්ඩායම් සාමාජිකයන් දැනටමත් සාක්ෂි ලබා දී ඇති බවත්ය.

මීට අමතරව PSG ක්‍රීඩකයෙකු වන Angel di Maria විසින් Gonzalez හට කෙළ ගැසූ බවට චෝදනා එල්ල වී ඇති නිසාවෙන් ඔහුට එළඹෙන 23 වැනිදා Ligue de Football Professionnel හී විනය කමිටුවෙ පෙනී සිටීමට සඳහා කැඳවීමට ද නියමිතව ඇත.

එම තරගයේ අවසාන අමතර කාලයේ දී සිදු වූ ගැටුමක් නිසාවෙන් Neymar, Paredes, Kurzawa, Amavi සහ Benedetto ක්‍රීඩකයන්ට රතු කාඩ් පත ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළ අතර එම තරගයේ ජයග්‍රහණය ගෝල 1-0ක් ලෙස Marseille ක්‍රීඩකයන්ට හිමි විය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<