IPL සභාපතිගෙන් තරගාවලිය ගැන තීරණයක්!

488

ඉදිරි මාස 2ක කාලය ඇතුළත ඉන්දියාවේ ‘Coronavirus’ වසංගත තත්වයේ අඩු වීමක් සිදු නොවුණහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) එරටින් පිට පැවැත්වීමට සිදු වනු ඇති බව එහි සභාපති Brijesh Patel විසින් AFP පුවත් ආයතනය වෙත පවසා ඇත. 

“අපි මුලින්ම බලලා ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි තරගාවලිය ඉන්දියාවේ දී ම පවත්වන්න උපරිමයෙන් උත්සාහ කරනවා. ඒත් මේ තත්වෙත් එක්ක එහෙම කරන්න බැරිවුණොත් අපි අනිවාර්යයෙන්ම වෙනත් විකල්ප ගැන සලකලා බලනවා. 

ඊළඟ මාසයක-දෙකක කාලය තුළ මොකද වෙන්නේ කියලා බලලා ඊට අනුව අපි තීරණයක් ගන්නවා” මෙහි දී අදහස් දක්වමින් Patel පැවසීය. 

බිලියන 1.3ක විශාල ජනකායක් වාසය කරන ඉන්දියාව තුළ මේ වන විටත් ‘coronavirus’ වසංගත තත්වය ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර මේ වන විට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතර සිව්වැනි තැනට පත්ව සිටින්නේ ද ඉන්දියාවයි. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වැඩි වශයෙන් ප්‍රචලිත සහ ක්‍රීඩා කරනු ලබන නව දිල්ලිය, මුම්බායි සහ චෙන්නායි වැනි නගරවල ආසාදිතයින්ගේ දැඩි ඉහළ යාමක් ද තවදුරටත් පෙන්නුම් කරයි. 

ලෝකයේ ධනවත්ම පන්දුවාර 20 තරගාවලිය ලෙස සැලකෙන IPL තරගාවලිය මීට පෙර අවස්ථාවන් දෙකක දී වෙනත් රටවල දී පවත්වා ඇති අතර එම අවස්ථාවන් දෙකේ දීම ඊට හේතුව වූයේ එරට ජාතික මැතිවරණ පැවැත්වෙන සමය තුළ තරගාවලිය පැවැත්වීමයි. ඒ අනුව 2009 වසරේ දී පැවති ඉතිහාසයේ දෙවන IPL තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පවත්වනු ලැබූ අතර අනතුරුව 2014 වසරේ තරගාවලියේ පළමු භාගයේ තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පවත්වන්නට විය.

මෙවර IPL තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආයතන මේ වන විටත් සිය කැමැත්ත පළකර ඇත.

Patel තරගාවලිය පැවැත්වීමට අපේක්‍ෂා කරන කාල රාමුව පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව ඇති පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඔවුන් IPL තරගාවලිය පවත්වා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. 

“IPL තරගාවලිය අපි සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී පවත්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් තරගාවලිය පැවැත්වෙන ඒ කාල රාමුව පිළිබඳව තීරණය කරන්න පැවැත්වෙන අනෙක් තරගාවලි ගැනත් සලකලා බලන්න ඕන. තාම කිසිම දෙයක් නිශ්චිත නැහැ. ඒත් IPL තරගාවලිය පවත්වන්න පුළුවන් වෙන්න අපි සැලසුම් හදලා තියාගන්නවා” Patel පැවසීය.

කෙසේ නමුත් ‘coronavirus’ වසංගත තත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තවමත් මෙම වසරේ පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව නිශ්චිත තීරණයක් ගෙන නොමැත. 

IPL තරගාවලිය සාමාන්‍යයෙන් සති 7ක කාලයක් පුරාවට පැවැත්වෙන නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) සභාපති Sourav Ganguly ඒ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ තරගාවලියේ කාල සීමාව මෙවර අඩු වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවයි. 

මෙවර පන්දුවාර 20 තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර එහි සත්කාරකත්වය බොහෝ දුරට ශ්‍රී ලංකාවට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හිමි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. 

තවත් කියවන්න;

IPL තරගාවලිය මාර්තු මස 29 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබුනත්, ‘coronavirus’ තත්වය හේතුවෙන් ඉන්දියාව පුරා ක්‍රියාත්මක වූ රට වසා දැමීමේ ක්‍රියාවලිය නිසා සැලසුම් කර තිබූ පරිදි තරගාවලිය පවත්වන්නට හැකි වූයේ නැත. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරගාවලිය කෙසේ හෝ පවත්වන්නට විවිධ සැලසුම් නිර්මාණය කර තිබුනත් ඉන්දියාව තුළ වයිරස ව්‍යාප්තිය මේ වන විටත් ඉහළ යමින් තිබීම හේතුවෙන් ඒ සම්බන්ධව අවසන් තීරණයක් මේ වන විටත් ගෙන නොමැති අතර Ganguly මේ පිළිබඳව පවසා සිටියේ ප්‍රේක්‍ෂකයින් නොමැතිව හිස් ක්‍රීඩාංගණ තුළ හෝ ඔවුන්ට මෙම වසරේ දී තරගාවලිය පවත්වා අවසන් කිරීමට අවශ්‍යව ඇති බවයි. 

IPL තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට මිලියන 500කට අධික පාඩුවකට මුහුණ දීමට සිදු වන බව එහි භාණ්ඩාගාරික Arun Dhumal විසින් AFP සමඟ පවසා ඇති අතර ඒ අනුව මෙම තරගාවලිය ඔවුන්ගේ ප්‍රමුඛ ආදායම් මාර්ගයකි. තවදුරටත් මෙම තරගාවලිය හරහා සමස්ත ඉන්දීය ආර්ථිකයට ද ඩොලර් බිලියන 11ක අති දැවැන්ත මුදලක් නිෂ්පාදනය වනු ඇතැයි ද ගණන් බලා ඇත.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<