වර්ණවාදයට සංගාගෙන් පිළිතුරක්

519
Sanga

මේ දිනවල ලොව පුරා කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති වර්ණවාදය සහ ජාතිවාදය පිළිබඳව සිය මතය ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඔහුගේ පෞද්ගලික Twitter ගිණුමේ සටහන් කර ඇත.

පසුගිය මැයි මස 25 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ Minnesota ප්‍රාන්තයේ Minneapolis නගරයේ දී 46 හැවිරිදි කළු ජාතික George Floyd නමැති පුද්ගලයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු වූ Derek Chauvin හමුවේ ඝාතනය වීමේ සිදුවීම පදනම් කරගෙන ජාතිවාදය සහ වර්ගවාදයට එරෙහිව මේ වන විට ලොව පුරා විශාල කතිකාවතක් ගොඩනැඟී ඇත.

කෙසේ නමුත් මෙම සිදුවීම පාදක කරගනිමින් ‘Coronavirus’ වසංගත තත්වය ද පසෙකලා ඇමෙරිකාව පුරා මේ වන විටත් දැඩි විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතින අතර තවදුරටත් මේ පිළිබඳව මේ වන විට ලොව පුරා සාකච්ඡාවට ලක්වෙමින් පවතී.

ඒ අනුව ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් Marylebone ක්‍රිකට් සමාජයේ (MCC) වත්මන් සභාපති සංගක්කාර මෙම වර්ණවාදය සහ ජාතිවාදයට අදාළ සිය මතය ඔහුගේ පෞද්ගලික Twitter ගිණුමේ කරුණු 8ක් ඔස්සේ පළකර සිටින්නට විය.

1. “පද්ධතික ජාතිවාදයට සහ අසාධාරණකම්වලට එරෙහිව ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන විරෝධතා අප සැමට බලවත් පාඩමක් ගෙන දෙනවා.

ඇමෙරිකාවේ හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක හෝ වේවා, අප ජීවත් වන්නේ කුමන රටේ වුවත් අපගේ සංවේදීතාවන් තීරණය කිරීම සිදු කළ යුතු වන්නේ රාජ්‍ය විසින් නොවේ.

ඒක ඔබට සහ මට ඇති අයිතියක්.”

2. “අපගේ ප්‍රඥාව, කරුණාව, සහානුභූතිය සහ තේරුම් ගැනීම කෙසේ විය යුතු දැයි තීරණය කිරීම රජය විසින් සිදු කළ යුතු නොවේ. රාජ්‍ය විසින් අනෙකා වෙනුවෙන් අපගේ හදවත් සහ මනස තුළ ඇති විවෘත භාවය සීමිත කළ නොයුතු මෙන්ම එයට එසේ කිරීමට ද නොහැකි අතර වෙනස සහ වෙනස්කම් වැළඳ ගැනීමට සහ අගය කිරීමට අපට ඇති හැකියාව ද එසේ සීමා කිරීමට එයට හැකියාවක් නැත.”

3. “ඒක තීරණය කරන්නේ අප විසින්ම පමණයි.

එමෙන්ම අපේ නියෝජිතයින් ද අපි අතරින් තෝරාගන්නේ අපමයි. ඒ අනුව ඔවුන් රජය වෙත ආරෝපණය කරනු ලබන ගති ලක්‍ෂණ පිළිබඳව අපට වගකීමක් ඇත. ඔවුන් පත්ව ඇති පුද්ගලභාවය කෙරෙහි අපට වගකීමක් ඇත. ඔවුන්ගේ ස්වභාවය තීරණය වී ඇත්තේ අපගේ අනුබලය සහ පෝෂණය කිරීම මතයි.”

4. “රාජ්‍යයේ ආකල්ප, ක්‍රියාවන්, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනයන් ගමන් කරන්නේ අපගේ තේරීම් මතයි. ඒ අනුව හොඳම රජය සහ හොඳම සහ සාධාරණම පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට නම් අප වඩාත් හොඳ පුද්ගලයින් විය යුතුයි.”

5. “අපගේ ශක්තීන් මෙන්ම දුර්වලතාවයන් ද අප එකිනෙකා කටයුතු කරන ආකාරයෙන් මෙන්ම අප පත්කරගත් නියෝජිතයින් කටයුතු කරන ආකාරයෙන් ද විදහා දැක්වේ.”

6. “සාමාන්‍ය පුරවැසියන් වන අපට එක්වුනොත් යහපත් දෙසට අනාගතයේ විශාල වෙනසක් ඇතිකරගත හැකි මෙන්ම විවෘත භාවය, ගෞරවය සහ තේරුම් ගැනීම අගයන ලෝක සංස්කෘතියක් ද නිර්මාණය කරගත හැකියි. ඒ වගේම අවිඥානය සහ පක්ෂපාතීත්වයට තැනක් නැති සැබෑම නිදහස රජයන ලෝක සංස්කෘතියක් බිහිකරගත හැකියි.”

තවත් කියවන්න;

7. “අපි නිර්භීතව, විශ්වාසය ඇතිව සහ සක්‍රියව මෙම ගමනට අපේ දායකත්වය ලබා දිය යුතුයි. අප අද සිදු කරනු ලබන තෝරාගැනීම් හරහා අපගේ දරුවන් හට හෙට දින උරුම වන සංස්කෘතිය තීරණය වනු ඇත.”

8. “අපට අපගේ ජීවිත පිළිබඳව අභිමානයක් ඇතිකර ගැනීමට නම්, අපගේ උරුමය තවදුරටත් අපගේ දරුවන් අභිමානයෙන් යුතුව ඉදිරියටම රැගෙන යනු දැකීමට නම් අපි මීට වඩා හොඳ පුද්ගලයින් වෙමු. අපි අප වෙනුවෙන්, එකිනෙකා වෙනුවෙන් සහ අපේ දරුවන් වෙනුවෙන් එය ඉල්ලා සිටිමු.

දැන්ම ඔබ ඔබගේ තෝරාගැනීම සිදුකරන්න.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<