නෙත්මි CWG ඉතිහාසය අලුත් කරද්දී බැඩ්මින්ටන් වලිනුත් ජයග්‍රහ​ණ

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

762

එංගලන්තයේ දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (05) දවස තවමත් ක්‍රියාත්මක වෙද්දී, මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නෙත්මි පොරුතොටගේ සමත් වුනා.

එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලැබූ පළමු පදක්කම මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනූ ළාබාලතම ක්‍රීඩිකාවන් වන්නේ ද ඇයයි. ඊට අමතරව ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනූ 5 වැනි ක්‍රීඩා ඉසව්ව මෙයයි.

කිලෝග්‍රෑම් 86 බර පංතියේ freestyle ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ නෙත්මි 16 දෙනාගේ වටයේ දී කැමරූන් ක්‍රීඩිකාවට එරෙහිව ජයග්‍රහණය කරමින් පදක්කම් ගමන ආරම්භ කළා.

ඇයට අවසන් පූර්ව වටයේ දී මුහුණ දෙන්නට සිදු වෙන්නේ පසුගිය වසරේ නෝර්වේ රාජ්‍යයේ දී පැවති ලෝක ශූරතාවලියේ දී ඉන්දියාව වෙනුවෙන් පළමු මල්ලවපොර පදක්කම දිනා දුන් Anusha Malik සමඟයි.

එම වටයේ දී 10-0ක පරාජයට පත් වන නෙත්මි ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේ දී ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා Irene Symeonidisට එරෙහිව 10-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා. එම ඉසව්වේ රන් පදක්කම නයිජීරියාවේ Odunayo Adekuoroye විසින් දිනා ගැනීමට සමත් වන අතර රිදී පදක්කම ඉන්දියාවේ Anusha Malik දිනා ගන්නවා.

මේ අතර ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නෙත්මිට අමතර ව සුරේෂ් ප්‍රනාන්දු සහ සචිනි වේරදූවගේ සහභාගී වුනා.

ඒ අතරින් ඊයේ පළමු වැනි තරගකාරිය ලෙසින් සහභාගී වූයේ සචිනි වේරදූවගේ. කාන්තා කිලෝග්‍රෑම් 62 freestyle අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කළ ඇය නයිජීරියාවේ Esther Omolayo Kolawole වෙතින් 10-0ක පරාජයක් ලබමින් තම පදක්කම් සිහිනය අහිමි කර ගත්තා.

මේ අතර B තරග වටය නියෝජනය කරමින් පිටියට පිවිසි සුරේෂ් ප්‍රනාන්දු තමන් මුහුණ දුන් පළමු තරගයේ දී මුරුසි දිවයිනේ Jean Frederic 2-0ක් ලෙස පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

එම වටයේ දී කැනඩාවේ Alexander Moore හා තරඟ වැදුණ සුරේෂ්ට සිදු වූයේ 10-0ක පරාජයක් ලැබීමටයි. එම පරාජයත් සමඟින් සුරේෂ්ගේ පදක්කම් ගමනට තිත තැබීමට ඔහුට සිදු වුනා.

බැඩ්මින්ටන්

පිරිමි ඒකල පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කරමින් ඊයේ පළමුවෙන් ම තරග පිටියට පිවිසි දුමිඳු අබේවික්‍රම ඉන්දියාවේ Srikanth Kidambi හමුවේ තරග වට 2-0ක පරාජයකට මුහුණ දෙන්නට සිදු වුනා.

Srikanth මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මිශ්‍ර බැඩ්මින්ටන් කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ ද සාමාජිකයෙක්. ඔහු පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම ද, පිරිමි ඒකල ඉසව්වේ රිදී පදක්කම්ලාභී ක්‍රීඩකයා ද වෙනවා.

ඔහු සහ දුමිඳු අතර පැවති තරගය නිමා වූයේ 21-9ක් සහ 21-12ක් ලෙසයි.

මේ අතර ඊයේ රාත්‍රියේ දී පැවති බැඩ්මින්ටන් මිශ්‍ර යුගල ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා සහ පිරිමි යුගල ඉසව්වට එක් වූ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක එම ඉසව්වලින් අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

මිශ්‍ර යුගල ඉසව්වේ 16 දෙනාගේ වටයේ දී සචින් සහ තිළිණි ප්‍රතිවාදී රුසියාවේ Summers Robert සහ Scholitz Johanitaට එරෙහිව තරග වට 2-0කින් ජයග්‍රහණය කළේ 21-18ක් සහ 21-8ක් ලෙස තරග වට අවසන් කරමින්.

පිරිමි යුගල ඉසව්ව නියෝජනය කරමින් 16 දෙනාගේ වටයට එක් වූ සචින් සහ බුවනෙක මාලදිවයිනේ Nibal Ahmed සහ Rasheed Ajfan 2-0ක් ලෙස පරාජය කළා. ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ 21-12ක් සහ 21-8ක් ලෙස.

මේ අතර ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු අතර ඉහළින් ම සිටි නිලූක කරුණාරත්න ද තම පොදුරාජ්‍ය මණ්ඩලීය ගමන 16 දෙනාගේ වටයෙන් අවසන් කළා. ඒ සිංගප්පූරුවේ Jia Heng වෙතින් 2-0ක පරාජයක් ලබා ගනිමින් අවසන් වීමෙන් අනතුරුවයි.

Jia Heng මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභී කණ්ඩායමේ සාමාජිකයෙක්.

ස්කොෂ්

ස්කොෂ් මිශ්‍ර යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට එක් වූ චනිත්මා සිනාලි සහ ශමිල් වකීල් බාබඩෝස් හී Haywood Amanda සහ Simpson Shawn 2-0ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ඔවුන් අතර පැවති තරගයේ දී චනිත්මා සහ ශමිල් ජයග්‍රහණය කළේ 11-7ක් සහ 11-9ක් ලෙසයි.

මේ අතර අනෙක් මිශ්‍ර යුගල ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ යෙහෙනි කුරුප්පු සහ රවිඳු ලක්සිරි ගයනා ක්‍රීඩකයන් වූ Khalil Ashley  සහ Khalil Jason Roy වෙතින් තරග වට 2-0ක පරාජයක් ලබා තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

ඔවුන් අතර පැවති තරගයේ පළමු වටය 11-10ක් ලෙස තියුණු මුහුණු වරක් ගනිමින් අවසන් වෙද්දී දෙවැනි වටය 11-3ක් ලෙස පරාජයට පත් වූවා.

එමෙන් ම රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් සහභාගී වූ පිරිමි යුගල ඉසව්වේ දී ඕස්ට්‍රේලියාවේ Pilley Cameron සහ Dowling Rhys වෙතින් තරග වට 2-0කින් පරාජය වීමට අපේ ක්‍රීඩකයන්ට සිදු වුනා. ඔවුන් අතර පැවති තරගය අවසන් වූයේ 11-7ක් සහ 11-7ක් ලෙසයි.

වෙරළ වොලිබෝල්

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පැවති වෙරළ වොලිබෝල් කාන්තා සහ පිරිමි අර්ධ අවසන් පූර්ව තරග ඉසව්වලින් පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම්වලට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

ඒ අතරින් පිරිමි අර්ධ අවසන් පූර්ව වටය එක් වූ අශේන් රශ්මික සහ මලින්ත යාපා තම බලාපොරොත්තු රැක ගැනීමට ප්‍රබල සටනක නිරත වුනා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ඕස්ට්‍රේලියාවේ Chris McHugh සහ Paul Burnett අතර පැවති තරගයෙන් ඔවුන් පරාජය වූයේ තරග වට 2-1කින්. පළමු වටයේ දී ඔවුන් 21-16ක් ලෙස ජයග්‍රහණය කළ ද, දෙවැනි වටයේ දී 21-16ක් සහ තෙවැනි වටයේ දී 15-9ක් ලෙසින් පරාජය වීමට සිදු වුනා.

මේ අතර කාන්තා අර්ධ අවසන් පූර්ව වටයේ දී කැනඩා ක්‍රීඩිකාවන් වූ Sarah Pavan සහ Melissa Humana-Paredes වෙතින් තරග වට 2-0ක පරාජයක් ලැබීමට දීපිකා බණ්ඩාර සහ චතුරිකා වීරසිංහට සිදු වුනා. ඔවුන්ගේ තරගයේ අවසන් ලකුණු පුවරු කියැවුනේ 21-9ක් සහ 21-11ක් ලෙසයි.

අද (06) දවසේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන

ක්‍රීඩාව ඉසව්ව වේලාව (ශ්‍රී ලංකා වේලාවෙන්)
කිමිඳුම් පිරිමි Springboard 3m දහවල් 2:35
මල්ලවපොර කාන්තා Freestyle 53kg (චමෝද්‍යා කේශානි) සවස 3:00 සිට
මල්ලවපොර කාන්තා Freestyle 50kg (ශ්‍රියන්තිකා නිරෝෂානි) සවස 3:00 සිට
බැඩ්මින්ටන් මිශ්‍ර යුග​ල අර්ධ අවසන් පූර්ව (සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා) සවස 5:10
බැඩ්මින්ටන් පිරිමි යුග​ල (සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක) රාත්‍රි 01:20
ස්කොෂ් මිශ්‍ර යුග​ල පලඟ අවසන් පූර්ව තරගය (චනිත්මා සිනාලි සහ ශමිල් වකීල්) සවස 5:10
ස්කොෂ් කාන්තා යුග​ල පලඟ අවසන් පූර්ව තරග (යෙහෙනි කුරුප්පු සහ චනිත්මා සිනාලි) රාත්‍රි 8:15

තරගාවලියේ 9 වැනි දිනය අදයි (06). පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකීය දක්ෂතා ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<