ජැමෙයිකාව කඩුලු මතින් දිවීමේ රන් පදක්කමට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

85
Commonwealth Games 2022 Day 07

එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය ඊයේ (4) සාර්ථකව අවසන් වුනා.

මලල ක්‍රීඩා, කිමිදුම් හා සවි එසවුම් වැනි ක්‍රීඩා කිහිපයකම අවසන් තරග ඊයේ පැවැත්වුනා.

මලල ක්‍රීඩා                 

පිරිමි කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව ජය ගැනීමට ඕස්ට්‍රේලියාවේ Matthew Denny සමත් වුනා. සිය හොඳම දක්ෂතාවය ලෙස ඔහු එහි දී මීටර් 67.26ක දුරක් වාර්තා කළා. එම ඉසව්වේ දෙවැනි ස්ථානය එංගලන්තයේ Lawrence Okoye විසින් දිනා ගනිද්දී, තුන්වැනි ස්ථානය ජැමෙයිකාවේ Traves Smikle විසින් දිනා ගත්තා.

රිමි මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා. ජැමෙයිකාවේ Rasheed Broadbell නව තරගාවලි වාර්තාවක් සමඟින් මේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

සිය හොඳම කාලය වාර්තා කරමින් ඔහු තත්පර 13.08කින් ඉසව්ව නිමා කළා. බාබඩෝස් හි Shane Brathwaite රිදී පදක්කමත් එංගලන්තයේ Andrew Pozzi ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.

පිරිමි දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ බහමාස් හි Laquan Nairn. ඔහු වාර්තා කළ දුර මීටර් 8.08ක්. ඉන්දියාවේ Sreeshankar Sreeshankar රිදී පදක්කම දිනා ගනිද්දී, ලෝකඩ පදක්කම හිමි වුනේ දකුණු අප්‍රිකාවේ Jovan van Vuuren හටයි.

ක්‍රිකට්

දකුණු අප්‍රිකාවට එරෙහිව දරුණු පරාජයකට මුහුණ දෙමින් ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමුදුන්නා. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 46කට සියලු දෙනා දැවී ගිය අතර දකුණු අප්‍රිකාව කිසිවෙකු නොදැවී ලකුණු 49 ක් රැස් කරමින් තරගය ජයගත්තා.

එංගලන්තය හමුවේ නවසීලන්තයත් දරුණු පරාජයකට මුහුණ දුන්නා. පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 71ක් රැස් කළ අතර එංගලන්තයට ලකුණු 72ක ඉලක්කය රැස් කරගන්නට වැය වුනේ කඩුලු 3ක් පමණයි.

මේ වන විට පදක්කම් සටහන දිස්වන්නේ මෙලෙසින්

තරගාවලියේ 8 වැනි දිනය වන අද (5) වැදගත් තරග ඉසව් කිහිපයක්ම පැවැත්වීමට නියමිතයි. පිරිමි යගුලිය විසි කිරීම, කාන්තා තුන් පිම්ම, කාන්තා බාධක දිවීම, පිරිමි මීටර 1500 දස ප්‍රයාම හා මල්ලව පොර ඉසව් වල අවසන් තරග ද අද පැවැත්වීමට නියමිතයි.

පැරා සවි එසවීම

මේ අතර පැරා සවි එසවීමේ ක්‍රීඩාවේ කාන්තා Heavyweight ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවන්නට නයිජීරියාවේ Alice Folashade Oluwafemiayo සමත් වුණා. ඇය එහි දී ලබා ගත් ලකුණු ගණන 123.4ක්. ඇයගේ උත්සාහයන් තුන සඳහන් වුනේ 130kgක්, 150kgක් හා 155kgක් ලෙසයි. එම ඉසව්වේ රිදී පදක්කම නයිජීරියාවේම Bose Patricia Omolayo සතු වූ අතර ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියාවේ Hani Watson විසින් දිනා ගත්තා.

පිරිමි Heavyweight අංශයේ රන් පදක්කම දිනා ගත්තේ ඉන්දියාවේ Sudhir. 208kg හා 212kg බැගින් වූ සාර්ථක එසවුම් දෙකකින් අනතුරුව ඔහු ලකුණු 134.5ක් රැස් කරගත්තේ එම ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් බිහි කරමිනුයි. නයිජීරියාවේ Ikechukwu Christian Obichukwu රිදී පදක්කම දිනා ගනිද්දී, ස්කොට්ලන්තයේ Micky Yule ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

 >> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<