සාරංගි අවසන් වටයට යද්දී ගයන්තිකා මූලික වටයේ හත්වැනි තැනට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

325

එංගලන්තයේ Birmingham හී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 1500 මූලික වටය සහ කාන්තා දුර පැනීම මූලික වටය නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න සහ සාරංගි සිල්වා අද (05) තරග බිමට පිවිසියා.

කාන්තා මීටර් 1500 ඉසව්වේ දෙවැනි මූලික තරගයට සහභාගී වූ ගයන්තිකා අබේරත්න එම තරගය මිනිත්තු 4:16.97ක කාලයකින් අවසන් කළේ හත්වැන්නා ලෙසයි.

ගයන්තිකාට එම තරගයේ දී සිය සුපුරුදු රිද්මයට ළඟා වීමට නොහැකි වූ අතර මීටර් 1500 ඉසව්ව සඳහා ඇයගේ පෞද්ගලික හොඳම කාලය මිනිත්තු 4:09.12ක් ලෙස සටහන්ව තිබෙනවා.

එම තේරීම් තරගයේ පළමුවැනි ස්ථානය දිනා ගත් ක්‍රීඩිකාවගේ කාලය මිනිත්තු 4:16.04ක් ලෙස සටහන් වූ අතර ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අවසාන ක්‍රීඩිකාවගේ කාලය දැක්වුනේ මිනිත්තු 4:16.23ක් ලෙසයි.

ඒ අනුව ක්‍රීඩිකාවන් 12ක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර සමස්ත ක්‍රීඩිකාවන් අතරින් 13 වැන්නා ලෙස මූලික වටය අවසන් කළ ගයන්තිකාට අවාසනාවන්ත ලෙස අවසන් වටය අහිමිව ගියා.

ඒ සමඟින් ගයන්තිකා අබේරත්න 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සහභාගී වූ ඉසව් අවසන් වූ අතර ඇය මීට පෙර කාන්තා මීටර් 800 මූලික වටයට සහභාගී වුනා.

මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් අද දිනයේ පිටියට පිවිසි දෙවැනි ක්‍රීඩිකාව වුනේ දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි සිල්වායි.

කාන්තා දුර පැනීම ඉසව්වේ දෙවැනි මූලික තරගයට සහභාගී වූ සාරංගි සිය පළමු අවස්ථාවේ දී මීටර් 6.42ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර දෙවැනි අවස්ථාවේ දී මීටර් 6.20ක දස්කමක් දැක්වූ ඇයට අවසන් අවස්ථාව සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ.

මූලික වටයේ ඉහළම දස්කම වූ මීටර් 6.42ක දුරත් සමඟින් තමන්ගේ මූලික වටය හයවැන්නා ලෙස අවසන් කිරීමට සාරංගිට හැකි වූ අතර සමස්ත ක්‍රීඩිකාවන්ගෙන් ඇයට හිමි වුනේ දසවැනි ස්ථානයයි.

ඒ අනුව අවසන් වටයට සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩිකාවන් 12 අතර රැඳෙමින් කාන්තා දුර පැනීම අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සාරංගි සිල්වාට හැකි වුනා.

සාරංගි සහභාගී වන කාන්තා දුර පැනීම අවසන් තරගය අගෝස්තු 07 වැනිදා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙට (06) අලුයම කාලිංග කුමාරගේ සහ නිලානි රත්නායක තරග වැදීමට සූදානමින් සිටිනවා.

එම තරගවල තොරතුරු ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com අප සූදානම්.  රැඳී සිටින්න අප සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<