“ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය ගැන පරීක්ෂණයක් නැත්තේ ඇයි?” – සංගක්කාර ප්‍රශ්න කරයි

818

ක්‍රීඩා කණ්ඩායම් සහ ගෝලීය දේශපාලනය අතර ඇති සම්බන්ධය ඉතාමත් කිට්ටු එකක් බව පැහැදිලි වන සිදුවීම් කිහිපයක්ම ඉතිහාසයෙන් හඳුනාගත හැක. අප මේ කතා කරන්නේ “ක්‍රීඩාව සහ දේශපාලකයන්ගේ පෞද්ගලික සම්බන්ධය” ගැන නොවේ. රටක ආර්ථිකයේ ඉහළ – පහළ යෑම සඳහා මෙන්ම ගෝලීය දේශපාලනයේ සිදුවන වෙනස්කම් හා ලොව ජනප්‍රිය ක්‍රීඩාවන්, උදාහරණ ලෙස පාපන්දු, ක්‍රිකට්, ඔලිම්පික් ක්‍රීඩාවන් දැඩිව සම්බන්ධ ය.

1972දී ජර්මනියේ මියුනික් නුවර පැවති ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඊශ්‍රායල මලල ක්‍රීඩකයින් 11 දෙනෙකු ප්‍රාණ ඇපයේ තබාගත් පලස්තීන ත්‍රස්තවාදී කල්ලියක් විසින් පසුව ඔවුන්ව ඝාතනය කිරීම එහි ඛේදනීයම උදාහරණයකි. එහිදී ඊශ්‍රායල ක්‍රීඩකයන් මැදිවූයේ ඊශ්‍රායල – පලස්තීන අර්බුදයට යි. එවැනිම අර්බුදයක් මැදට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඇදවැටෙන්නේ 2009 මාර්තු 03වැනිදා ය.

“මුලින්ම ඔවුන් වෙඩිතැබුවේ බස්රථයේ රෝදවලටයි. පසුව ඔවුන් අප දෙසට වෙඩිතැබුවා.” මේ ඒ අවාසනාවන්ත සිද්ධියෙන් අනතුරුව මහේල ජයවර්ධන ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැවසූ දේයි. කුමක්ද ඒ අවාසනාවන්ත සිද්ධිය?

ලෂ්කාර් – එ – ජන්ග්වි නම් ජිහාඩ් ත්‍රස්තයන් විසින් ලාහෝර් ක්‍රීඩාංගණය වෙත බස්රියකින් ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කළ අතර ජීවිත හානි සිදුනොවී ක්‍රීඩකයන් 06 දෙනෙකුට වෙඩිවැදීමෙන් පමණක් සිද්ධිය අවසන් වන්නේ ඔවුන්ගේ පෙර පිනකට ය. එහිදී බස්රථයේ රියදුරා (මොහොමඩ් කලීල්) දැක්වූ නිර්භීත ක්‍රියාකලාපය නොවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවසානය සිදුවන්නට තිබුණේ එදින යි. සිද්ධියේදී පාකිස්තානු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු පමණ මියගියේය.

courtesy - smh.com.au
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ අජන්ත මෙන්ඩිස් සහ තරංග පරණවිතාන

“දුක හිතෙන දේ තමයි අපට සහයක් හැටියට පාකිස්තානයට ක්‍රීඩා කරන්න ආපු ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වගේ දෙයකින් වන්දි ගෙවීමට සිදුවීම.” ප්‍රවීණ පාක්සිතානු ක්‍රිකට් ක්‍රීඩක ඉන්සමාම් උල් හක් සිද්ධියෙන් පසු එසේ පවසා තිබිණි.

2009 වර්ෂයේ මාර්තු මස මුල් දින කිහිපය ශ්‍රී ලංකා රජයේ හමුදා සහ දෙමළ ඊලාම් ත්‍රස්තවාදී සංවිධානය අතර දරුණු ගැටුම් පැවතුණු කාලයකි. ශ්‍රී ලංකා හමුදාව ත්‍රස්තවාදීන්ගේ මර්මස්ථාන වෙත ළඟාවෙමින් සිටි බැවින් යුද්ධය යම් තැනක අත්හිටුවාගැනීමට ඔවුන් නොදැරූ තැතක් නැත. එබැවින් පාකිස්තානය වැනි ත්‍රස්තවාදී සම්බන්ධතා සහිත රටකට මෙරට ජාත්‍යන්තර ක්‍රීඩා කණ්ඩායමක් පිටත් කර හැරීම කෙතරම් අනාරක්ෂිතද යන්න පැහැදිලිව තිබුණි. ඉන්පසු අදටත් කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරවල නිරතවන්නේ නැත.

එහෙත් එකල පාලක මණ්ඩලය සහ බලධාරීන් විසින් තමන්ගේ ආරක්ෂාව ගැන නොසැලකිල්ලෙන් කටයුතු කළ බව ප්‍රහාරයට මැදිවූ කුමාර් සංගක්කාර විසින් ප්‍රහාරයෙන් වසර 8කට අනතුරුව ඊයේ (13) ප්‍රකාශයට පත්වීමත් සමඟ ඒ පිළිබඳව නැවතත් කතාබහක් ඇරඹී තිබේ.

“අපි අහපු ප්‍රශ්න නොතකා 2009 අපිව පාකිස්තාන් යැව්වා. අපේ කණ්ඩායමෙන් බාගෙකට වෙඩි වැදිලයි අපි ආයෙ ආවේ. මං හිතන්නේ අපිව මැරෙන්නම කියලා වගේ අපිව යැව්වේ. තාම මගෙ ඇඟේ වෙඩිවැදුණු යකඩ කුඩු තියෙනවා. අපි බලන්න ඕනේ එය හරි වගකීමකින් කළාද කියලා.” සංගක්කාර සිද්ධිය ගැන මෙසේ පැහැදිලි කළේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කරන චෝදනා ගැන විමසීමේදීයි.

එවකට ක්‍රීඩා ඇමතිව සිටි ගාමිණී ලොකුගේ මහතා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය හෙබවූයේ අර්ජුන යි. පසුව ඔහුව තනතුරෙන් ඉවත්කෙරුණු අතර එවකට ජනපති මහින්ද රාජපක්ෂ විසින් යළිත් ඔහුව තනතුරේ පිහිටවූයේය.

“ඒ ගැන පරීක්ෂණයක් කරන්න කාලෙ හරි. අපි ඒවා ගැනත් බලන්න ඕන. කවුරුහරි දන්න කෙනෙක් බලලා ක්‍රිකට් ගැන මොනවහරි කිව්වහම ක්‍රිකට් වලට තියෙන ගරුත්වය නම් එහෙමම තියෙනවා. ඒත් ඉන් එහා දේවල් නම් මං එච්චර ගණන් ගන්නෙ නෑ.” සංගක්කාර තවදුරටත් කීවේය.

“ඒ සංචාරයට අපිව සහභාගී කළේ පෞද්ගලික වුවමනාවක් නිසාද, ක්‍රීඩකයෝ ගැන වගකීමකින්ද කියලා පරීක්ෂණයක් කරන්න ඕනේ.” සංගක්කාර තම පිළිතුරුදීම අවසන් කළේ එසේයි.

මෙහි සැඟවුණු යම් අරුතක් ඇත්ද, එසේත් නැත්නම් වගකිවයුතු යම් කෙනෙක් නිදැල්ලේ සිටීද? ගෝලීය දේශපාලනයේ නොදුටු පැතිකඩක් මින් විවර වේද? ThePapare.com එහි සැබෑ පුවත් ඔබ හමුවේ තබන්නට සූදානම්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට