එංගලන්තයේ Birmingham හී පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රථම දිනයේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන තරග රැසක් අද (29) නිමාවට පත්වුනා.

ස්කොෂ්

Squash ක්‍රීඩාවෙන් අද ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක් පිටියට පිවිසියා. එයින් පළමුවෙන් පිටියට පිවිසියේ යෙහෙනි කුරුප්පුයි.

ගයනා  ක්‍රීඩිකා Ashley Khalil සමඟ තරග වැදුණු ඇය තියුණු සටනකින් පසුව තරගය ජය ගත්තේ තරග වට 3-2ක් ලෙසයි. යෙහෙනි පළමු වට ද්විත්වය 4-11ක්, 9-11ක් ලෙස ජය ගැනීමට සමත් වූවත්, ඉතිරි වට දෙක 9-11ක්, 3-11ක් ලෙස ජයග්‍රහණය කිරීමට Ashley සමත් වුනා.

තීරණාත්මක අවසන් වටය 4-11ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ ශ්‍රී ලාංකිකයෙකු ලබා ගත් පළමු ජයග්‍රහණය සඳහා හිමිකම් කීමට යෙහෙනි සමත් වුනා.

ඉන්පසුව තරග බිමට පිවිසි රවිඳු ලක්සිරි තරගය ජයග්‍රහණය කළේ තරග වට 3-1ක් ලෙසයි.

ගයනා ක්‍රීඩක Shomali Wiltshire සමඟ පැවති එම තරගයේ පළමු වට ද්විත්වය 11-2ක් සහ 11-1ක් ලෙස රවිඳු පහසුවෙන් ජය ගත් අතර තෙවැනි වටය 11-7ක් ලෙස ජය ගත්තේ Shomali විසිනුයි.

නමුත් සිව්වැනි වටයේ දී නැවතත් සිය රිද්මයට පැමිණි රවිඳු 11-3ක් ලෙස එම තරගය ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

Squash ඉසව්ව නියෝජනය කරමින් අද තරග කළ අවසන් ක්‍රීඩකයා වූ Shamil Wakeel ද, වට 3-2ක් ලෙස ජයග්‍රාහීව ඉසව්ව අවසන් කරන්නට සමත් වුනා.

ඔහුගේ ප්‍රතිවාදියා වූ බාබඩෝස් ක්‍රීඩක Shawn Simpson පළමු වට ද්විත්වය ලකුණු 6-11ක් සහ 9-11ක් ලෙස ජය ගත් නමුත් ඉන්පසුව තරගයට පිවිසි Shamil 6-11, 9-11 සහ 1-11ක් ලෙස ජයග්‍රාහීව තරගය අවසන් කරන්නට සමත් වුනා.

ඒ අනුව ඔවුන් තිදෙනාම තිස්දෙදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත් අතර ඔවුන්ගේ මීළඟ තරග හෙට (30) පැවැත්වීමට නියමිතයි.

පිහිනුම් (පිරිමි)

තරගාවලියේ පිහිනුම් ඉසව් ආරම්භ කරමින් පිරිමි මීටර් 50 සමනළ ආර ඉසව්වට සහභාගී වූ අකලංක පීරිස් එහි මූලික වටය තත්පර 24.89ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කළා.

ඡායාරූපය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ Facebook පිටුවෙනි.

අකලංක එම වාර්තා කළ කාලය ඔහු තරගාවලියට සුදුසුකම් ලබා ගත් කාලයට වඩා වැඩි වේගවත් කාලයක් වූ නමුත් සමස්ත වටයේ 22 වැන්නා වූ ඔහුට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වුනේ නැහැ.

ජිම්නාස්ටික් (Artistic)

Artistic ජිම්නාස්ටික් අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද (29) හංස ගයාෂාන් සහ රුචිර ප්‍රනාන්දු තරග බිමට පිවිසියා.

ගයාෂාන් Pommel Horse හී ලකුණු 9.050ක්, Rings හී ලකුණු 4.150ක් සහ Vault හී ලකුණු 10.100ක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඉන්පසුව හට ගත් ආබාධයක් නිසා තරගයෙන් ඉවත් වීමට ඔහුට සිදු වුනා.

තරගය පුරාවට කැපී පෙනෙන දස්කම් පෙන්නුම් කළ රුචිර Pommel Horse හී ලකුණු 12.000ක්, Rings හී ලකුණු 10.250ක්, Vault හී ලකුණු 13.150ක්, Floor හී ලකුණු 11.200ක්, Parallel Bags හී ලකුණු 11.250ක් සහ Horizontal Bar හී ලකුණු 10.700 වශයෙන් සියලු වටයන්හී ලකුණු 10ට වඩා ලබාගෙන මුළු ලකුණු 68.550ක් ලබා ගැනීමට සමත් වුනා.

රුචිර පළමු වටය අවසානයේ තෙවැනි ස්ථානයේ රැඳී සිටීමට සමත් ව තිබුණා.

බැඩ්මින්ටන්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ  මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව තරග වැදුණේ ඕස්ට්‍රේලියාව සමඟිනුයි. එකිනෙකට වෙනස් ඉසව් 5කින් සමන්විත වූ මෙම තරගයෙන් තරග 3-2ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා මිශ්‍ර බැඩ්මින්ටන් කණ්ඩායම සමත් වුනා.

මෙහි මිශ්‍ර යුගල තරගයට සහභාගී වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා  තරග වට 2-0ක් ලෙස එය ජයග්‍රහණය කළා. පළමු වටය ඔවුන් ලකුණු 18-21ක් ලෙස ජය ගත් අතර දෙවැනි වටය ඔවුන් ජය ගත්තේ 21-14ක් ලෙසයි.

පිරිමි කේවල ඉසව්වට සහභාගී වූ නිලූක කරුණාරත්න තරග වට 2-0ක් ලෙස එය ජය ගත්තේ 21-18ක් සහ 21-12ක් ලෙසයි.

කාන්තා  කේවල ඉසව්වට සහභාගී වූ සුභාසිනි විදානගේ තරග වට 2-0ක් ලෙස පරාජය වුනා. පළමු වටය ලකුණු 10-21ක් ලෙසත්, දෙවැනි වටය ලකුණු 13-21ක් ලෙසත් ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාව විසින් ජයග්‍රහණය කළා.

කාන්තා  කේවල තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුනේ තිළිණි හෙන්දහේවා සහ සුභාසිනි විදානගේයි. ඔවුන් ද එම තරගය 18-21ක් සහ 14-21ක් පරාජය වීම නිසාවෙන් 2-2ක් තරගය ලෙස සම වුනා.

මෙම ඉසව්වේ අවසන් තරගය වූ පිරිමි යුගල බැඩ්මින්ටන් ඉසව්ව නියෝජනය කළ සචින් ඩයස් සහ නිලූක කරුණාරත්න එය තරග වට 2-0ක් (21-16 සහ 21-14) ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වුනා. ඒ සමඟින් මිශ්‍ර ඉසව්ව 3-2ක් ලෙස ජය ගනිමින් ඉදිරි වටයට පිවිසීමට ශ්‍රී ලංකා  ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

පැසිපන්දු

ස්කොට්ලන්ත පිරිමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා  පිරිමි කණ්ඩායම

අවසන් මිනිත්තුව දක්වා ඇදී ගිය තියුණු සටනකින් පසුව ශ්‍රී ලංකාව පරදවා ලකුණු 16-09ක ජයක් ලබා ගැනීමට ස්කොට්ලන්තයට හැකි වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවසන් මිනිත්තු කිහිපය දක්වාම ලකුණු සමව පවත්වා ගැනීමට සමත් වූවත්, අවසන් මොහොතේ ඔවුන්ට පසුබෑමට සිදු වුනා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ කෙන්යා කාන්තා කණ්ඩායම

මෙම තරගය ආරම්භය සිටම සිය ආධිපත්‍ය පැතිර වූ කෙන්යානු ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තේ ලකුණු 21-08ක් ලෙසයි.

ඔවුන් ආරම්භයේ සිටම විශාල ලකුණු පරතරයක් තබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා  ක්‍රීඩිකාවන්ට එම පරතරය අවම කර ගැනීමට හැකි වුනේ නැහැ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම

මෙම තරගයෙන් ද ස්කොට්ලන්තය හමුවේ ලකුණු 21-5ක දැවැන්ත පරාජයක් විඳගැනිමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරමක හෝ දස්කම් දැක්වූ නිහාරි පෙරේරා ලකුණු දෙකක් සහ රෂ්මි පෙරේරා  ලකුණු 3ක් ලබා  ගන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ කෙන්යානු පිරිමි කණ්ඩායම

මෙම තරගයෙන් ද තියුණු සටනකින් පසුව ලකුණු 21-18ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වුනා.

අවසන් මොහොත තෙක් තරගය දෙපිලට ම දෝලනය වෙමින් පැවතියත්, අවසන් මොහොතේ කෙන්යානු ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගත්තා.

මෙම තරගයේ දී දක්ෂ ක්‍රීඩා  විලාශයක් පෙන්නුම් කළ යෝගනන්දන් සිම්රන් ලකුණු 13ක් ලබා  ගත්තා.

බොක්සිං

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා  උළෙලේ Boxing තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා  ක්‍රීඩක සංජීව රාජකරුණා  තරග බිමට පිවිසියා. කිලෝග්‍රෑම් 60-63 බර පන්තියෙන් Welterweight කාණ්ඩයෙන් තරග වැදුණු ඔහුගේ ප්‍රතිවාදියා  වූයේ එංගලන්ත ක්‍රීඩක Joseph Tyres.

මෙම තරගය තුල සංජීවට කිසිදු අවස්ථාවක් ලබා  නොදුන් Joseph ලකුණු 5-0ක් ලෙස තරගය ජය ගත්තා.

මීට අමතරව අද දිනයේ ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම් ද තරග බිමට පිවිසියා. එහි සවිස්තර වාර්තාව සඳහා මෙතැනින් පිවිසෙන්න.

අද (30) දවසේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන

ක්‍රීඩාව

ඉසව්ව

වේලාව

බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් (ශ්‍රී ලංකාව සහ ඉන්දියාව) දහවල් 1:30
බර එසවීම පිරිමි 55Kg (දිලංක කුමාර) දහවල් 1:30
සත් සාමාජික රග්බි කාන්තා දහවල් 2:14
සත් සාමාජික රග්බි පිරිමි සවස 3:42
පිහිනුම් කාන්තා මීටර් 100 පසුපසආර (ගංගා සෙනෙවිරත්න) සවස 3:57
බර එසවීම පිරිමි 61Kg (තිලංක පලඟසිංහ) සවස 4:15
ස්කොෂ් කේවල පිරිමි සවස 6:15
බර එසවීම කාන්තා 49Kg (ශ්‍රීමාලි සමරකෝන්) රාත්‍රි 8:00
ජිම්නාස්ටික් Artistic කාන්තා කණ්ඩායම් සහ කේවල අවසන් තරග රාත්‍රි 9:00
සත් සාමාජික රග්බි කාන්තා | TBC රාත්‍රි 10:00
ක්‍රිකට් ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා රාත්‍රි 10:30
ස්කොෂ් කාන්තා කේවල (යෙහෙනි කුරුප්පු) රාත්‍රි 10:30
සත් සාමාජික රග්බි පිරිමි | TBC රාත්‍රි 10:45
බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් (ශ්‍රී ලංකාව සහ පාකිස්තානය) රාත්‍රි 11:30
පිහිනුම් කාන්තා මීටර් 100 පසුපසආර (ගංගා සෙනෙවිරත්න) අවසන් පූර්ව මධ්‍යම රාත්‍රි 12:52
බර එසවීම කාන්තා 55Kg (චමරි වර්ණකුලසූරිය)

මධ්‍යම රාත්‍රි 12:30

 

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<