CWG 8 වැනි දවසේ හොඳම දක්ෂතා සමඟින් තරගාවලි වාර්තා දෙකක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

281

ශ්‍රී ලංකාව මල්ලවපොර ක්‍රීඩාවෙන් ඉතිහාසගත වෙමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 8 වැනි දිනය ඊයේ අවසන් වුනා.

ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව්ව රැසක අවසන් මහා තරග ඊයේ පැවති අතර එහි දී නව පොදුරාජ්‍ය මණ්ඩලීය තරග වාර්තා (Commonwealth Games Record) දෙකක් අලුත් වීමත් විශේෂත්වයක්.

මලල ක්‍රීඩා

18 හැවිරිදි කෙන්යානු මලල ක්‍රීඩිකා Jackline Chepkoech ඊයේ කාන්තා මීටර් 3000 බාධක දිවීමේ අවසන් මහා තරගයට සහභාගී වූ අතර එහි දී ඇය මිනිත්තු 9:12.56කින් ඉසව්ව අවසන් කරමින් සිය හොඳම දක්ෂතාව ද සමඟින් නව පොදුරාජ්‍ය මණ්ඩලීය තරග වාර්තාවක් පිහිටුවන්නට සමත් වුනා.

මිනිත්තු 9:17.68ක සිය හොඳම දක්ෂතාවය වාර්තා කළ එංගලන්ත ක්‍රීඩිකා Elizebeth Bird විසින් රිදි පදක්කම ජයග්‍රහණය කරද්දී, උගන්ඩා ක්‍රීඩිකා Peruth Chemutai විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළේ මිනිත්තු 9:23.24ක දක්ෂතාවයක් වාර්තා කරමිනුයි.

කාන්තා තුන්පිම්ම ඉසව්වේ අවසන් මහා තරගය ද ඊයේ පැවති අතර එයට සහභාගී වූ ජැමෙයිකානු ක්‍රීඩිකා Shanieka Ricketts විසින් රන් පදක්කම දිනා ගන්නට සමත් වුනේ මීටර් 14.94ක දක්ෂතාවයක් වාර්තා කරමිනුයි. මෙවර තරග වාරයේ ඇයගේ හොඳම දක්ෂතාවය මෙය වන අතර නව තරගාවලි වාර්තාවක් ලෙස ද මෙය ඉතිහාසගත වුනා.

ඉසව්වේ රිදි පදක්කම ඩොමිනිකාව නියෝජනය කරන Thea Lafond (මීටර් 14.39ක්) විසින් දිනා ගනිද්දී, එංගලන්ත ක්‍රීඩිකා Naomi Metzger විසින් මීටර් 14.37ක් සමඟ සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය ද සමඟින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

පිරිමි යගුලිය විසිකිරීම ඉසව්වේ අවසන් තරගයේ වැඩි ආධිපත්‍ය නවසීලන්තය සතු වුනා. එහි දී රන් පදක්කම Tom Walsh විසින් ජයග්‍රහණය කරද්දී Jacko Gill විසින් සිය හොඳම දක්ෂතාවය වාර්තා කරමින් රිදි පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා. ඔවුන් දෙදෙනාම නවසීලන්ත ජාතිකයින් වන අතර ඔවුන්ගේ දක්ෂතා දැක්වුණේ පිළිවෙළින් මීටර් 22.26ක් සහ 21.90ක් ලෙසයි. ලෝකඩ පදක්කම දිනා ගත්තේ එංගලන්තයේ Scott Lincoln (20.57) විසිනුයි.

කිමිඳුම්

පිරිමි මීටර් 3 Synchronized Springboard ඉසව්වේ පැවති අවසන් තරගයේ දී එංගලන්ත ක්‍රීඩක Anthony Harding සහ Jack Laugher විසින් රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ඒ 438.33 ලකුණු ප්‍රමාණයක් වාර්තා කරමින්. Jack විසින් දිනා ගත් දෙවැනි රන් පදක්කම මෙය වන අතර මීට පෙර ඔහු මීටර් 1 Springboard ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබුණා.

ඉසව්වේ රිදි පදක්කම මැලේසියාවේ Gabriel Gilbert සහ Muhammad Syafiq විසින් ජයග්‍රහණය කරද්දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන Samuel Fricker සහ Shixin Li විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

ඊයේ පැවති පිරිමි මීටර් 10 Synchronized Platform ඉසව්වේ දී ද ලකුණු 429.78ක් වාර්තා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට එංගලන්ත ක්‍රීඩකයින් වන Matthew Lee සහ Noah Williams සමත් වුනා.

ඉසව්වේ රිදි පදක්කම දිනා ගන්නට කැනේඩියානු ක්‍රීඩකයින් වන Rylan Wiens සහ Nathan Zsombor-Murray සමත් වෙද්දී, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන Paul Bedggood සහ Emmanuel Rousseau විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කාන්තා මීටර් 1 Springboard ඉසව්වේ අවසන් තරගයෙන් රන් පදක්කම දිනා ගන්නට 21 හැවිරිදි කැනේඩියානු ක්‍රීඩිකා Jolie Vallee සමත් වුනේ ලකුණු 291.85ක් වාර්තා කරමිනුයි. ඉසව්වේ දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Brittany O’Brien විසින් දිනා ගනිද්දී, ලෝකඩ පදක්කම එංගලන්ත ජාතික Amy Rollinson සතු වුනා.

මල්ලවපොර

මෙම ක්‍රීඩාවේ ඊයේ පැවති අවසන් තරගවල දී වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට ඉන්දියාව සමත් වුනා.

කාන්තා Freestyle 63kg ඉසව්වේ දී කැනේඩියානු ක්‍රීඩිකා Godinez Gonzales පරාජය කරමින් රන් පදක්කම දිනා ගන්නට ඉන්දියාවේ Sakshi Malik සමත් වුනා. ඊට අමතරව පිරිමි Freestyle 86kg කාණ්ඩයේ රන් පදක්කම ද ඉන්දියාව සතු වුනා. පාකිස්තානයේ Muhammad Inam පරාජය කරමින් Deepak Punia රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

Blessing Oborududu (වමේ සිය දෙවැනියා)

 

ඊට අමතරව පිරිමි Freestyle 65kg ඉසව්වේ දී කැනේඩියානු ජාතික Lachlan McNeil පරාජය කරමින් රන් පදක්කම දිනා ගන්නට ඉන්දියාවේ Bajrang Punia සමත් වුනා.

එම ඉසව්වලට අමතරව, කාන්තා Freestyle 68kg ඉසව්වේ ප්‍රථම ස්ථානය නයිජීරියාවේ Blessing Oborududu විසින් දිනා ගනිද්දී, පිරිමි Freestyle 125kg ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට කැනඩාවේ Amarveer Dhesi සමත් වුනා.

Blessing Oborududu (වමේ සිය දෙවැනියා)

ඒ අනුව 8 වැනි දිනය නිමා වෙද්දී රන් පදක්කම් 50ක්, රිදි පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 46ක් සමඟන් ඕස්ට්‍රේලියාව පෙරමුණේ පසුවන අතර එංගලන්තය සහ කැනඩාව පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳී සිටිනවා. මීට අමතරව 7 වැනි දිනය අවසානයේ පදක්කම් සටහනේ 7 වැනි තැන රැඳී සිටි ඉන්දියාව 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්.

ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය අදයි (06). අද ඉසව්ව රැසක අවසන් මහා තරග පැවැත්වීමට නියමිත අතර ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත සමීප කරන්නට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

 >> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<