ශ්‍රී ලංකාව මෙල්ල කිරීමට දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සංචිත නම් කරයි

3540

ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සහ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා තරග වදිනු ලබන දකුණු අප්‍රිකානු සහ එංගලන්ත සංචිත නම් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21 (ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක්) 

2020/21 තරග වාරය වෙනුවෙන් දකුණු අප්‍රිකානු ටෙස්ට් නායකත්වය Quinton de Kock වෙත ලබා දී තිබෙන අතර ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මේ සංචිතය සඳහා නවක ක්‍රීඩකයින් තුනක් ද ඇතුළත් කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත. 

ආරම්භක පිතිකරුවෙක් ලෙස Sarel Erwee, කඩුලු රකින පිතිකරුවෙක් ලෙස Kyle Verreynne සහ මද වේගපන්දු යවන ක්‍රීඩකයෙක් ලෙස Glenton Stuurman මේ සංචිතය සඳහා ඇතුළත් කර තිබෙන නවක ක්‍රීඩකයින් වේ.

LPL තතුවිත්ති:

කෙසේ නමුත් දකුණු අප්‍රිකානු වේගපන්දු බල ඇණිය සතුව සිටින දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩක Kagiso Rabada සහ තුන් ඉරියව් ක්‍රීඩක Dwaine Pretorius මේ සංචිතය සඳහා නම් කර නොමැත්තේ ඔවුන් දෙදෙනාම ආබාධවලට ලක්ව සිටින නිසාවෙනි.

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර තුන්දින පුහුණු තරගයක් ද පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අවස්ථාවේ පැවති ටෙස්ට් තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර දකුණු අප්‍රිකාවේ දී එවැනි දස්කමක් දැක්වූ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වීමට ද ශ්‍රී ලංකාව සමත් විය. එම තරගාවලියේ පැවති පළමු තරගයේ දී කුසල් පෙරේරා ලබා ගත් සුපිරි ලකුණු 153 කැපී පෙනුනි.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය Quinton de Kock (නායක), Temba Bavuma, Aiden Markram, Faf du Plessis, Beuran Hendricks, Dean Elgar, Keshav Maharaj, Lungi Ngidi, Rassie van der Dussen, Sarel Erwee, Anrich Nortje, Glenton Stuurman, Wiaan Mulder, Keegan Petersen, Kyle Verreynne.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

  • 2020 දෙසැම්බර් 20 – 22: තෙදින පුහුණු තරගය – Benoni හිදී
  • 2020 දෙසැම්බර් 26 – 30: පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – Centurion හිදී
  • 2021 ජනවාරි 03 – 07: දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය – Johannesburg හිදී

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021 (ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක්) 

දකුණු අප්‍රිකානු සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ජනවාරි 7 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර පසුව දින 7ක් ගාල්ලේ දී නිරෝධායනය වනු ඇත. ඒ ජනවාරි මස අවසානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය (ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග 2) වෙනුවෙනි.

Joe Rootගේ නායකත්වයෙන් ජනවාරි 2 වැනිදා එංගලන්තයෙන් පිටත්වීමට නියමිතව සිටින එංගලන්ත කණ්ඩායම තරගාවලිය සඳහා පැමිණෙන්නේ ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ද සමඟයි. එසේම ඉන් පසුව ඉන්දියාවේ දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ඔවුන්ගේ සිටින ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Jofra Archer සහ Ben Stokes ශ්‍රී ලංකා තරග සංචාරය තුල දී විවේක ගැන්වීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

කෙසේ නමුත් එංගලන්ත ටෙස්ට් සංචිතයේ සිය ස්ථාන අහිමිව තිබූ Moeen Ali සහ Jonny Bairstow හට නැවතත් එංගලන්ත ටෙස්ට් සංචිතයට පිවිසීමට වරම් ලැබී ඇත.

තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම ලබන මස 3 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පසුව ජනවාරි 5 වැනිදා සිට 9 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එංගලන්ත කණ්ඩායම සිය පුහුණු සැසිය දියත් කිරීමට දැනට සැලසුම් කර තිබේ.

එංගලන්ත ටෙස්ට් සංචිතය Joe Root (නායක), Moeen Ali, James Anderson, Jonathan Bairstow, Dom Bess , Stuart Broad, Jos Buttler, Zak Crawley, Sam Curran, Ben Foakes, Dan Lawrence, Jack Leach, Dom Sibley, Olly Stone, Chris Woakes, Mark Wood

අතිරේක ක්‍රීඩකයින්James Bracey, Mason Crane, Saqib Mahmood, Craig Overton, Matthew Parkinson, Ollie Robinson, Amar Virdi.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

  • පළමු ටෙස්ට් තරගය – ජනවාරි 14-18 – ගාල්ලේ දී
  • දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 22-26 – ගාල්ලේ දී

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති කොදෙව් තරගාවලියට පසුව කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වී නොමැති අතර කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ දී එංගලන්තය සමඟත්, ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟත් (එක්දින සහ විස්සයි විස්ස), ජූලි මාසයේ දී බංග්ලාදේශය සමඟත් තරග වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණු නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලි සියල්ල කල් දමන ලදි.

LPL තරගාවලිය අවසන් වූ වහාම දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගී වෙමින් ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන්නේ මාස 10කට ආසන්න දිගු විරාමයකට පසුව වීම විශේෂත්වයකි.

මේ වන විට පවත්වා ඇති තරගාවලිවලට අනුව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියා කණ්ඩායමයි. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 60ක් දිනා ගනිමින් 6 වැනි ස්ථානයේ සිටියි. දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග දෙක සඳහා ප්‍රසාද ලකුණු 120 බැගින් වෙන්වන අතර එක් තරගයක් ජයග්‍රහණය කළහොත් එම කණ්ඩායමට ප්‍රසාද ලකුණු 60ක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<