වසර 33කට පසුව ක්ලිෆර්ඩ් කුසලානය පොලිසිය අතට

Clifford Cup 2024

117

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය විසින් ඊයේ (09) සමත් වුනා. 

තරගාවලියේ අවසන් පූර්ව තරග ද ඇතුළුව අවසන් මහා තරගය ද මෙම නිමා වූ සති අන්තයේ දී පැවැත්වුණු අතර, එහි දී පොලිසිය විසින් ශූරතාව ජයග්‍රහණය කිරීමට පෙර ලීග් ශූරයින් වූ CR & FC කණ්ඩායම මෙම තරගාවලියෙන් ඉවතට විසි කර දැමීම පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු වුනා. 

පොලිස් ක්‍රීඩා සමාජය සහ CR & FC ක්‍රීඩා සමාජය 

කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුණු මෙම තරගය ජයග්‍රහණය කිරීමට පොලිසිය විසින් සමත් වූ අතර, මීට සති කිහිපයකට පෙර අපරාජිත ව ලීග් ශූරතාව ජයග්‍රහණය කිරීමට පවා සමත් වූ CR කණ්ඩායම පරාජිත අංශයේ රැඳීම බොහෝ දෙනාගේ පුදුමයට හේතු වුනා. 

මෙම තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළ CR ක්‍රීඩක මනිල්ක රුබේරු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් වූ අතර, ඉන් පසුව ඊට පිළිතුරු ලෙස පොලිසිය වෙනුවෙන් ආකාෂ් මදුශංක උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා. 

ඉන් පසුව පොලිසිය වෙනුවෙන් ප්‍රින්ස් චාමර සහ CR වෙනුවෙන් රුබේරු තවත් දඬුවම් පහර බැඟින් සාර්ථක කර ගනිමින් තරගය ඉදිරියට රැගෙන ගියා. 

මින් පසුව තරගයේ පළමු අර්ධය නිමා වන විට පොලිස් ක්‍රීඩකයින් විසින් තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් සාර්ථක කර ගත් අතර, CR ක්‍රීඩකයින් ද උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කර ගැනීමට සමත් වුනා. 

පළමු අර්ධය අවසන් වන විට පොලිසිය ලකුණු 23ක් ලබා සිටි අතර, CR & FC ලකුණු 16ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධය නම් ලීග් ශූරයින්ට කිසි සේත් ම සුබදායී අන්දමින් ගලා ගියේ නැහැ. මෙතෙක් තරග වාරය තුළ සැම විටම සිය උපරිමය ලබා දෙමින් ක්‍රීඩා කළ CR ක්‍රීඩකයින්ගේ අසාර්ථක ම මිනිත්තු හතළිහක් බවට පත් වූ මෙම දෙවන අර්ධය තුළ ඔවුන් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් නොවූ අතර, පොලිසිය විසින් එහි දී තවත් උත්සාහක දිනුම් තුනක් සමඟින් ලකුණු 17ක් ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනා. 

අවසන් ලකුණු තත්වය: 

පොලිස් ක්‍රීඩා සමාජය 40 (5T, 3C, 2P, 1DG) – CR & FC 16 (2T, 2P) 

තරගයේ වීරයා: ප්‍රින්ස් චාමර (පොලිසිය) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • පොලිසිය – සචිත් සිල්වා 2T, හෆීස් තබීත්  1T, Shane Hopewood 1T 2C, ශානක හරිස්චන්ද්‍ර 1T,  ප්‍රින්ස් චාමර 2P 1DG, නවීන් කවිශ්ක 1C 
  • CR & FC තේනුක නානායක්කාර 1T, වෙනුර කෝදාගොඩ 1T, මනෙල්ක රුබේරු 2P 

Havelock ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය 

කොළඹ තුරඟ තරග පිටියේ දී ම පැවැත්වුණු මෙම තරගය නම් පෙර තරගයට වඩා තරමක් උණුසුම් මුහුණුවරක් ගත්තා. 

තරගයේ පළමුවෙන් ලකුණු රැස් කිරීමේ ගෞරවය Havelock ක්‍රීඩක ජයතු රාජරත්නම් හට හිමි වුනා. ඔහුගේ උත්සාහක දිනුමෙන් පසු ජනිත් චන්දිමාල් විසින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් ඉන් මොහොතකට පසු ප්‍රසාත් මදුශංක විසින් CH වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් එතෙක් තරගයේ පෙරමුණේ පසු වීමට හැව්ලොක් ක්‍රීඩකයින් සමත් වූ අතර, තරගයේ 17 වැනි මිනිත්තුවේ දී තරගයේ පෙරමුණ CH වෙත රැගෙන ඒමට මලීෂ පෙරේරාගේ උත්සාහක දිනුම සහ හිරුශ නෙත්මිනගේ ප්‍රවර්තනය හේතු වුනා. 

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර නැවතත් තරගයේ පෙරමුණ හැව්ලොක් වෙත රැගෙන ඒමට සමත් වූ ජයතු සිය දෙවන උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් වුනා. 

ඒ අනුව තරගයේ දෙවන අර්ධය නිම වන විට ලකුණු 14 – 12ක් ලෙස පෙරමුණේ රැඳීමට හැව්ලොක් කණ්ඩායමට හැකියාව ලැබුණා. 

නමුත් තරගයේ දෙවන අර්ධය ආරම්භයත් සමඟම හිරුශ නෙත්මින විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් නැවතත් CH තරගයේ පෙරමුණට රැගෙන ඒමට සමත් වුනා. 

ඉන් පසුව ගයාන් ජයමාන්න විසින් CH වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, රන්දිත වර්ණපුර විසින් හැව්ලොක් වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා. ඒත් සමඟම නැවතත් කණ්ඩායම් ද්විත්වයම ලකුණු 22 බැඟින් ලබමින් සම මට්ටමට පැමිණියා. 

එමෙන්ම රන්දිත විසින් සිය දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කරමින් තරගයේ වාසිය නැවතත් හැව්ලොක් වෙත හැරවීමට සමත් වුනා. 

කෙසේ වෙතත් එතැනින් පසුව CH කණ්ඩායමට නැවත හැව්ලොක් අබිබවා යාමට අවස්ථාවක් හිමි වුනේ නැහැ. මින් පසුව හැව්ලොක් වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා වූ අතර, CH වෙනුවෙන් ද එක් උත්සාහක දිනුමක් වාර්තා වුනා. 

අවසන් ලකුණු තත්වය:  

Havelock ක්‍රීඩා සමාජය 37 (6T, 2C, 1P) – CH & FC (4T, 2C, 1P)  

තරගයේ වීරයා: ජයතු රාජරත්නම්  

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • Havelockජ‍යතු රාජරත්නම් 3T, නිරෝශ් සිල්වා 1T, රන්දිත වර්ණපුර 2T, ජනිත් චන්දිමාල් 2C, සැමුවෙල් මදුවන්ත 1P 
  • CH & FC ගයාන් ජයමාන්න 1T, මලිශ්ක පෙරේරා 1T, නිරෝශ් පෙරේරා 1T, ප්‍රසාත් මදුශංක 1T, හිරුශ නෙත්මින 2C 1P 

අවසන් මහා තරගය 

පොලිස් ක්‍රීඩා සමාජය සහ Havelock ක්‍රීඩා සමාජය 

අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල අනුව ඊයේ (09) කොළඹ තුරඟ තරග පිටියේ දී Clifford කුසලානය සඳහා සටන් වැදීමට පොලිසිය සහ හැව්ලොක් කණ්ඩායම් මුණ ගැසුණා. 

නමුත් තරගය ආරම්භ වී මිනිත්තු 35ක් ගෙවී යන තෙක් ම එකඳු කණ්ඩායමක් හෝ ලකුණු ලබා ගැනීමට සමත් වුනේ නැහැ. 

කෙසේ වෙතත් තරගයේ 35 වැනි මිනිත්තුවේ දී හිරන්ත පෙරේරා විසින් තරගයේ පළමු උත්සාහක දිනුම පොලිසිය වෙනුවෙන් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒ සමඟම තරගයේ පළමු අර්ධය ද නිමා වුනා. 

තරගයේ දෙවන අර්ධයේ මුල් භාගය තුළ ද දෙපිළෙන් ම ලකුණු වාර්තා නොවීම විශේෂත්වයක්. 

තරගයේ 65 වැනි මිනිත්තුවේ දී ශානක හරිස්චන්ද්‍ර විසින් පොලිසිය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, ප්‍රින්ස් චාමර විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. 

ඉන් පසුව මුශින් ෆලීල් විසින් හැව්ලොක් වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර, සැමුවෙල් මදුවන්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය 7 – 12ක් ලෙස ඉදිරියට ගෙන ආවා. නමුත් මේ මොහොතේ ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩක හෆීස් තබීත් වාර්තා කළ උත්සාහක දිනුම සහ චාමරගේ ප්‍රවර්තනය නිසා පොලිසියට තරගයේ ජයග්‍රහණය ස්ථිර කර ගැනීමට හැකි වුනා. 

කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තුවේ දී ජයතු රාජරත්නම් විසින් හැව්ලොක් වෙනුවෙන් වාර්තා වූ දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කළ අතර, එය තරගය ප්‍රතිඵලයට නම් කිසිම අන්දමක බලපෑමක් එල්ල කළේ නැහැ. 

තරගයේ අවසන් ලකුණු තත්වය: 

පොලිස් ක්‍රීඩා සමාජය 19 (3T, 2C) – Havelock ක්‍රීඩා සමාජය 12 (2T, 1C) 

තරගයේ වීරයා – හිරන්ත පෙරේරා (පොලිසිය) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • පොලිසිය – හිරන්ත පෙරේරා 1T, ශානක හරිස්චන්ද්‍ර 1T, හෆීස් තබීත් 1T, ප්‍රින්ස් චාමර 1C, Shane Hopewood 1C 
  • Havelockමුශින් ෆලීල් 1T, ජයතු රාජරත්නම් 1T, සැමුවෙල් මදුවන්ත 1C 

මේ අනුව වසර 33කට පසුව ක්ලිෆර්ඩ් කුසලානයේ පහස ලැබීමට මෙවර පොලිස් ක්‍රීඩා සමාජයට හැකියාව ලැබුණා. 

අවසන් වරට 1991 වසරේ දී ක්ලිෆර්ඩ් කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව නැවත මෙවර කුසලානයේ පහස විඳීමට අවස්ථාව ලද පොලිසියේ 09 වැනි ක්ලිෆර්ඩ් ශූරතාවය ලෙසයි මෙය වාර්තා අතරට එක් වන්නේ. 

දේශීය රග්බි පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare නිරන්තරයෙන් සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<