“ක්‍රිකට් කියන්නේ ජීවිතේ පොඩි කොටසක් කියලා තේරුණා” – කෝලි

3315

ඔහු සිතුව තරම් තමන්ට ක්‍රිකට් නැති නිසා පාළුවක් නොදැනුණු බව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවසා සිටිනවා. කෝලි සිය 13 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරය ක්‍රීඩා කරන්නට සූදානම් වන අතර අවසන් වරට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළේ නවසීලන්තයේ දීයි. 

දකුණු අප්‍රිකාව සමඟ ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරග වැස්සට සේදී ගිය අතර අනතුරුව පැමිණි COVID-19 වසංගතය නිසා ලොව පුරා ක්‍රිකට් තරග සියල්ල නවතා දැමුණා.

කෝලි පවසා සිටියේ ක්‍රිකට් නැතුව සිටීම මුලදී අමාරු වුනත් පසුව නව යථාර්ථයට පුරුදු වූ පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් එපිට ජීවිතය වඩා සුවපහසු වූ බවයි.

“සියලුම දේවල් හොඳින් වුනා. මට ක්‍රිකට් නැතුව එතරම් පාළුවක් දැනුණේ නැහැ” කෝලි RCB කණ්ඩායමේ නාලිකාවේ පැවැත්වුණු වැඩසටහනකට පවසා තිබුණා. “මම එකදිගට වසර නවයක් දහයක් කාර්යබහුල වෙලා සිටිය නිසා වෙන්න පුළුවන්, මේක තමයි මට ලැබුණු ලොකුම විවේකය. මේ මාව වෙනස් කරපු කාලයක්. මේ කාලයේ මම තේරුම් ගත්තා ක්‍රිකට් කියන්නේ ජීවිතයේ පොඩි කොටසක් විතරයි කියලා.” 

“මාස කිහිපයකට කලින් මට හිතාගන්නත් බැරි වුනා IPL තියන්න පුළුවන් වෙයි කියලා. පසුව තත්වය හොඳ අතට හැරුණා සහ අපි දැක්කා අනෙක් තරගාවලි ක්‍රීඩා කරන ආකාරය. ඒකෙන් අපිට විශ්වාසය ඇති වුනා. දැන් අපි ඊයේ අපේ පුහුණු සැසිය පැවැත්වුවාම තමයි මට හිතුණේ කොච්චර කල් අපි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැතුව හිටිය ද කියන එක. මම පුහුණු සැසියට යද්දී මට තරමක නොඉවසිලිවන්ත බවක් දැනුණා.”

තවත් ක්‍රිකට් පුවත්:

 

 

 

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට එක්සත් අරාබි එමීර් හිදී 2020 IPL තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කෝලි පවසා සිටියේ පනවා ඇති නීති රීතිවල බැරෑරුම්කම තේරුම් ගෙන කටයුතු කිරීම තම තමන්ගේ වගකීමක් බවයි. “අපි මෙහේ ඉන්නවා කියන්නේ අපිට ක්‍රීඩා කරන්න අවස්ථාවක් තිබෙනවා කියන එක. අපි මෙහේ ඇවිල්ලා ඉන්නේ විනෝද වෙන්න නෙවේ. නගරයේ ඇවිදිමින් අනේ අපිට ඩුබායිවල ඇවිදින්න ඕනේ කියන්න නෙවේ. මේ කාලය ඒකට සුදුසු කාලයක් නෙවෙයි.”

“අපි තේරුම් ගන්න ඕනේ මේ කාලය කොච්චර අමාරු ද කියලා හා අපිට IPL ක්‍රීඩා කරන්නට ලැබීම කොච්චර වාසනාවක් ද කියලා.”

RCB නායක කෝලි පවසා සිටියේ ක්‍රිකට් පිටිය පෙර තිබුණාට වඩා වෙනස් වී ඇති බවයි. කෝලි පවසා සිටියේ ප්‍රේක්ෂකයින් නොමැති ගැටලුව නම් කාලය සමඟ විසඳී යනු ඇති බවයි.

” මුලදී ඒක අමාරු වෙන එක මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ” ඔහු පවසා සිටියා. “ඒක හරි අමුතු වෙයි. පන්දුව පිත්තේ වදිනකොට එන දෝංකාරය විතරයි පිට්ටනියේ. 2010 වසරේ රංජි කුසලාන තරගාවලියෙන් පසුව මම එවන් අත්දැකීමක් විඳ නැහැ. වසර 10කින් ප්‍රේක්ෂකයින් නැති තරගයක් මම ක්‍රීඩා කර නැහැ.”

“අපි මේක ජීවිතයේ කොයිම දවසක හරි කරලා තියෙනවා. අපි ක්‍රීඩා කරන තරගවලත් අපි ක්‍රීඩාව වෙනුවෙන් ඇති ආදරය වෙනුවෙන් දක්ෂතා දක්වන්න ඕනේ. මුලදී ප්‍රේක්ෂකයින් නැති බව නිසා පොඩි අමුත්තක් දැනෙයි නමුත් අපි තරගයට පිවිසුණාට පස්සේ අපිට කිසිම අමාරුවක් දැනෙන එකක් නැහැ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<