Home Sinhala අවාසනාව අභිබවා වාසනාව කැන්දාගෙන ශ්‍රී ලංකාව සුපිරි 4ට

අවාසනාව අභිබවා වාසනාව කැන්දාගෙන ශ්‍රී ලංකාව සුපිරි 4ට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

468
Asitha Madusanka Fernando and Maheesh Theekshana of Sri Lanka celebrate win during the Asia Cup 2022 cricket match between Sri Lanka and Bangladesh at the Dubai International Cricket Stadium, Dubai, United Arab Emirates on the September 1st, 2022. Photo by Deepak Malik / Creimas for Asian Cricket Council

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු තීරණාත්මක තරගය අද (1) ඩුබායි හිදී නිමා වුනා.

එහි දී කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, චාමික කරුණාරත්න සහ අසිත ප්‍රනාන්දු දැක්වූ කැපී පෙනෙන දස්කම් නිසා කඩුලු දෙකක තියුණු ජයක් ලබාගෙන සුපිරි 4 වටයට යාමට ශ්‍රී ලංකාව සමත් වුනා.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත්වී අවසන්. ඒ නිසාවෙන් මේ තරගය කණ්ඩායම් දෙකටම අතිශය තීරණාත්මක වුනේ මේ තරගයේ ප්‍රතිඵලය අනුව මෙවර ආසියානු කුසලානය තුල ඔවුන්ගේ ඉදිරි ගමන් මඟ තීරණය වන නිසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම, නිමා වුනු ඇෆ්ගනිස්ථාන තරගයේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත්, වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවා තිබුණු අතර මෙය ඔහුගේ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයයි.

එසේම බංග්ලාදේශය නිමා වූ ඇෆ්ගනිස්ථාන තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු කරමින් ආරම්භක පිතිකරුවන් වන Anamul Haque, Mohammed Naim සහ වේගපන්දු යවන ක්‍රීඩක Mohammad Saifuddin වෙනුවට Sabbir Rahman, Mehidy Hasan සහ Ebadot Hossain මේ තරගය වෙනුවෙන් කණ්ඩායමට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව: කුසල් මෙන්ඩිස් (wk), පැතුම් නිස්සංක, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක (C), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මදුශංක.

බංග්ලාදේශය: Sabbir Rahman, Mosaddek Hossain, Shakib Al Hasan (C), Afif Hossain, Mushfiqur Rahim (wk), Mahmudullah, Mehidy Hasan Miraz, Mahedi Hasan, Ebadot Hossain, Taskin Ahmed, Mustafizur Rahman

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තා.

පෙර තරගයට ක්‍රීඩා කළ බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම වෙනස් කරමින් Sabbir සහ Mehidy Hasan Mirazගේ ආරම්භක සබඳතාවය ලකුණු 19කට සීමා කිරීමට අසිත සමත් වුනේ සිය පළමු පන්දුවාරයේ දී ම Sabbirගේ කඩුල්ල දවාගෙනයි.

Mehidy Hasan 4 පහර 2ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 2ක් තුල ලකුණු 38ක් ලබා ගන්නා විට නායක Shakibගේ ප්‍රබල කඩුල්ල ලකුණු 24කට දවා ගැනීමට තීක්ෂණ සමත් වුනා.

Powerplay අවස්ථාව තුල කඩුල්ලක් දැවී ලකුණු 55ක් ලබා ගත් බංග්ලාදේශ ලකුණු පුවරුව 87කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ දී Mahmudullah සහ Afif එක්ව බංග්ලාදේශ ඉනිමේ සහ මේ තරගය පුරාවටම වාර්තා වුනු හොඳම සබඳතාවය ගොඩනංවමින් පන්දු 37ක් තුල ලකුණු 57ක සබඳතාවයක් ගොඩනැංවූවා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Afif ලකුණු 39ක් ලබා ගත්තේ පන්දු 22ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමිනි.

පළමු පන්දුවාර 10 අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 85ක් ලබා ගත් බංග්ලාදේශය අවසන් පන්දුවාර 10 තුල කඩුලු 4කට ලකුණු 98ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරා ගත්තා.

මෙය (ලකුණු 183) බංග්ලාදේශ කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණය වුනා. පන්දු යැවීමේ දී වනිඳු සහ චාමික කඩුලු 2ක බැගින් දවා ගත් අතර, තීක්ෂණ, මදුශංක සහ අසිත අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 184ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ නිස්සංක සහ මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 33ක් තුල ලකුණු 45ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට ධනාත්මක ආරම්භයක් ලබා දුන්නා.

සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ක්‍රීඩා කරන Ebadot ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි පන්දුවාරයේ දී ලකුණු 20ක් ලබාගෙන සිටි නිස්සංක සහ අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණි අසලංකව එක් ලකුණකට දවා ගන්නට සමත් වුනා.

පළමු පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටි අතර මෙන්ඩිස් ශ්‍රී ලංකා මුල්පෙළ වෙනුවෙන් ආරම්භයේ සිටම එක් අන්තයක් රැකගෙන සාර්ථක ප්‍රහාරයක් දියත් කළේ සිය අවාසනාව වාසනාවක් කරගෙනයි.

අවස්ථා 4ක දී නොදැවී සිටීමට තරම් වාසාන්වන්ත වුනු මෙන්ඩිස් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ ලබා ගත් 7 වැනි අර්ධ ශතකය වාර්තා කර ගනිමින් පන්දු 37ක් තුල ලකුණු 60ක් වාර්තා කරන්නට සමත් වුනා. නැවතත් ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණු මෙන්ඩිස්ගේ එම ජවසම්පන්න ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 3ක් ඇතුළත්.

පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සබඳතාවය බිඳ වැටීමට පසුව ශ්‍රී ලංකා කඩුලු 3ක් (අසලංක, ගුණතිලක, රාජපක්ෂ) ලකුණු 32ක් තුල දවා ගැනීමට Taskin සහ Ebadot යන වේගපන්දු යවන්නන් සමත් වුනා.

පන්දුවාර 8කුත් පන්දු 5ක් අවසානයේ දී ලකුණු 77කට කඩුලු 4ක් බිඳ වැටී ගොස් තිබුණු අවස්ථාවේ දී මෙන්ඩිස් සමඟ එක්වූ නායක ශානක 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35ක් තුල ලකුණු 54ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය ජයග්‍රහණයේ පාදම සකස් කළා.

පන්දුවාර 14කුත් පන්දු 3ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටි මෙන්ඩිස් (ලකුණු 60) දැවී යාමට පසුව පිටියට පැමිණි වනිඳු ලකුණු දෙකකට දැවී ගියේ ශ්‍රී ලංකා ජයග්‍රහණය පිළිබඳ කුකුසක් ඇති කරමින්.

නමුත් බලාපොරොත්තු කඩවී සිටි ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ ශානක පන්දු 33ක් තුල ලකුණු 45ක් ලබා ගත් අතර චාමික ද පන්දු 10ක දී ලකුණු 16ක් ලබාගෙන දස්කම් දැක්වූවා. නමුත් එම කඩුලු දෙක තරගයේ අවසන් පන්දු 19 තුල දැවී යාම නිසා තරගයේ ජයග්‍රහණය දෙපසටම දෝලනය වුනා.

කෙසේ නමුත් තීක්ෂණ සමඟ පිටියේ එක්වූ සිය මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරන අසිත බංග්ලාදේශයට අමතක නොවන පරාජයක් සහ ශ්‍රී ලංකාවට අමතක නොවන ජයක් උරුම කර දෙමින් ශ්‍රී ලංකා ලකුණු සටහන ජයග්‍රහණය වෙත මෙහෙයවන්නට වුනා.

නිපන්දු 4ක් සමඟ අතිරේක ලකුණු 17ක් ලබා දුන් බංග්ලාදේශ කණ්ඩායමේ විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීම ද ගැටලු සහගත වුනා. එම කරුණු කාරනා සියල්ලම ඔවුන්ගේ මේ පරාජයට දැඩි බලපෑමක් එල්ල කළ අතර අවසානයේ දී ඔවුන්ට හිස් අතින්ම මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිව යන්නට සිදු වුනා.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

Result


Sri Lanka
184/8 (19.2)

Bangladesh
183/7 (20)

Batsmen R B 4s 6s SR
Mehidy Hasan Miraz b Wanidu Hasaranga 38 26 2 2 146.15
Sabbir Rahaman c Kusal Mendis b Asitha Fernando  5 6 1 0 83.33
Shakib Al Hasan (vc) b Maheesh Theekshana 24 22 3 0 109.09
Mushfiqur Rahim c Kusal Mendis b Chamika Karunaratne 4 5 0 0 80.00
Afif Hossain c Wanidu Hasaranga b Dilshan Madushanka 39 22 4 2 177.27
Mahmudullah c Chamika Karunaratne b Wanidu Hasaranga 27 22 1 1 122.73
Mosaddek Hossain not out 24 9 4 0 266.67
Mahedi Hasan lbw b Chamika Karunaratne 1 2 0 0 50.00
Taskin Ahmed not out 11 6 0 1 183.33


Extras 10 (b 4 , lb 6 , nb 0, w 0, pen 0)
Total 183/7 (20 Overs, RR: 9.15)
Bowling O M R W Econ
Dilshan Madushanka 4 0 26 1 6.50
Maheesh Theekshana 4 0 23 1 5.75
Asitha Fernando  4 0 51 1 12.75
Wanidu Hasaranga 4 0 41 2 10.25
Chamika Karunaratne 4 0 32 2 8.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Mustafizur Rahman b Ebadot Hossain 20 19 2 1 105.26
Kusal Mendis c Taskin Ahmed b Mustafizur Rahman 60 37 4 3 162.16
Charith Asalanka c Mahmudullah b Ebadot Hossain 1 3 0 0 33.33
Dhanushka Gunathilake c Taskin Ahmed b Ebadot Hossain 11 6 2 0 183.33
Bhanuka Rajapaksa c Sabbir Rahaman b Taskin Ahmed 2 4 0 0 50.00
Dasun Shanaka c Mosaddek Hossain b Mahedi Hasan 45 33 3 2 136.36
Wanidu Hasaranga c Mahedi Hasan b Taskin Ahmed 2 3 0 0 66.67
Chamika Karunaratne run out (Shakib Al Hasan (vc)) 16 10 0 0 160.00
Maheesh Theekshana not out 0 2 0 0 0.00
Asitha Fernando  not out 10 3 2 0 333.33


Extras 17 (b 0 , lb 5 , nb 4, w 8, pen 0)
Total 184/8 (19.2 Overs, RR: 9.52)
Bowling O M R W Econ
Mustafizur Rahman 4 0 32 1 8.00
Taskin Ahmed 4 0 24 2 6.00
Shakib Al Hasan 4 0 31 0 7.75
Ebadot Hossain 4 0 51 3 12.75
Mahedi Hasan 2.2 0 30 1 13.64
Mehidy Hasan Miraz 1 0 11 0 11.00



මේ ජයග්‍රහණය නිසා B කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව, මෙවර ආසියානු කුසලාන තරගාවලියේ නිල සත්කාරකයින් වන නිසා, B1 ආසනය දිනාගෙන සුපිරි 4 වටයට යන්නට අවස්ථාව උදා කර ගත්තා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනු ලබන සුපිරි 4 වටයේ පළමු තරගය මේ මස 3 වැනිදා ඇෆ්ගනිස්ථානය සමඟ සාජා හිදී පැවැත්වීමට නියමිතයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<