දසුන්ගේ වාග් ප්‍රහාරයට Mehedy Hasanගෙන් පිළිතුරු

Asia cup 2022

658

සැප්තැම්බර් 1 වැනිදා ඩුබායි හිදී බංගලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත තීරණාත්මක විස්සයි විස්ස තරගයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක විසින් ප්‍රකාශ කළේ, ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් තරම් අභියෝගයක් බංගලාදේශ කණ්ඩායමෙන් එල්ල නොවෙනු ඇති බවත්, ඔවුන් පහසු ප්‍රතිවාදියෙකු ලෙස සලකන බවත්ය.

පසුගිය සෙනසුරාදා ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 8ක පරාජයක් ලැබීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පල කර සිටියා.

“ඇෆ්ගනිස්තාන කණ්ඩායම සතුව ලෝක මට්ටමේ පන්දු යවන්නන් සිටිනවා. අපි දන්නවා Fizz (Mustafizur Rahman) හොඳ පන්දු යවන්නෙක් බව, ඒ වගේම Shakib al Hasan ලෝක මට්ටමේ පන්දු යවන්නෙක් බවත්. නමුත් ඒ ඇරෙන්න බංග්ලාදේශයේ වෙන කිසිම ප්‍රධාන පෙළේ පන්දු යවන්නන් නැහැ. අපි ඇෆ්ගනිස්තානය සමඟ ඔවුන්ව සැසඳුවොත් බංග්ලාදේශය කියන්නෙ පහසු ප්‍රතිවාදියෙක්.”

දසුන් එලෙස බංග්ලාදේශ කණ්ඩායම පිළිබඳ අදහස් පල කර සිටියා. තව දුරටත් ඔහු සඳහන් කළේ, විස්සයි විස්ස තර රටාවේ මෙතෙක් දෙරට අතර පැවති තරග 12න් තරග 8ක්ම ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී ඇති බංග්ලාදේශ කණ්ඩායමේ ශක්තීන් මෙන්ම දුර්වලතා පිළිබඳව ද තමන් හොඳින්ම දන්නා බවයි.

දසුන්ගේ මේ ප්‍රකාශය පිළිබඳ අදහස් පල කළ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Mehedy Hasan ප්‍රකාශ කර සිටියේ, තමන් ඒ පිළිබඳ කිසිම අදහසක් වචනයෙන් ප්‍රකාශ නොකරන බවත්, ක්‍රීඩා පිටිය තුල දී ක්‍රියාවෙන්ම එයට ඔහුට පිළිතුරු ලැබෙනු ඇති බවත්ය.

“මට අවශ්‍ය නැහැ මේ කණ්ඩායම හොඳයි හෝ මේ කණ්ඩායම නරකයි කියලා අදහස් දවන්න, මම විශ්වාස කරන්නෙ කණ්ඩායමක දක්ෂ හෝ දුර්වල බව තීරණය වෙන්නෙ ක්‍රීඩා පිටිය තුල දී බවයි. හොඳ කණ්ඩායමක් දුර්වල විදිහට ක්‍රීඩා කරන දවසක පරදින්න වගේම, දුර්වලම කණ්ඩායමක් වුනත් හොඳින් ක්‍රීඩා කරන දවසක දිනන්න ඉඩ තියෙනවා.

තරගයට පෙර පෙරැයීම් කරනවට වඩා වැදගත් වෙන්නෙ එදා දවසේ හොඳින් ක්‍රීඩා කිරීමයි, අපි එදාට ක්‍රීඩා පිටියේ දී මුණ ගැහෙමු. දවස අවසානයේ හොඳම කණ්ඩායම තරගය දිනාවි. ඒ වගේම හැමෝම දැන ගනීවි කවුද හොඳ සහ කවුද නරක කණ්ඩායම් කියලත්,” Mehedy Hasan අදහස් දක්වා සිටියා.

තව දුරටත් ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු තරයේ පවසා සිටියේ, දසුන්ගේ ප්‍රකාශය ගැන සිතනවාට වඩා ඇෆ්ගනිස්තානය සමඟ අද (30) පැවැත්වීමට නියමිත තරගය පිළිබඳ තම අවධානය යොමු කිරීම වඩාත් වැදගත් බවයි.

“අනිවාර්‍යෙන්ම තරගාවලියක පළමු තරගය ඉතාම වැදගත් එකක්, එය තරගාවලියේ අප කණ්ඩායමට ඉදිරියට යාමට අවශ්‍ය මානසික මට්ටම නිර්මාණය කරාවි. කණ්ඩායම් දෙක සතුවම ඉතාම හොඳ මට්ටමේ දඟපන්දු යවන්නන් සිටිනවා. අපිට ලැබෙන විකට්ටුව දඟ කැවෙන එකක් නම් එය වඩාත් හොඳයි. නමුත් මම හිතන්නෙ හොඳින්ම පිතිකරණයේ යෙදෙන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය ලැබීමේ වැඩි වාසි තියෙනවා කියලයි.”

ආසියානු කුසලානයේ තෙවැනි තරගය ලෙසින් අද පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරගය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ Mehedy Hasan  ප්‍රකාශ කර සිටියා.

මේ අතර පසුගිය 27 වැනිදා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය Afif Hossainව කණ්ඩායමේ නව උපනායකයා ලෙස පත් කළ අතර අද තරගයේ දී ඔහු පළමු වරට එම වගකීම දරනු ඇත.

ආසියානු කුසලානයේ 5 වැනි තරගය වන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ලබන මස පළමු වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිත අතර එම තරගයත්, අද පැවැත්වෙන බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරගයත් ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන පිළිබඳ තීරණය ලබා දෙනු ඇති.

cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<