“කෝ ACC, කෝ ICC?” අර්ජුනගෙන් BCCI වෙත සැර විවේචනයක්!

Asia Cup 2023

17368

මෙවර ආසියානු කුසලානය අතරමැද තරගාවලි නීති-රීති වෙනස් කරමින් ඉන්දු – පාකිස්තාන තරගයට පමණක් අතිරේක දිනයක් වෙන් කිරීම පිළිබඳව හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග විසින් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ සම සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලට වර්ෂාවෙන් දැඩි ලෙස බාධා එල්ල වුනා.

තරගාවලියේ මූලික වටයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු – පාකිස්තාන තරගය එක් ඉනිමක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වූ අතර, මූලික වටයේ ඉන්දියාව ක්‍රීඩා කළ අනෙක් තරගයට ද (නේපාලය සමඟ) වර්ෂාවෙන් බාධා එල්ල වුනා. 

පසුව තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ දී ඉන්දියාව සහ පාකිස්තානය නැවත මුණ ගැසීමට දින දෙකකට පෙර තරගාවලියේ පෙර පැවති නීති රාමුවට පිටින් යමින් එම ඉන්දු – පාකිස්තාන තරගයට සහ තරගාවලියේ අවසන් මහා තරගයට පමණක් අතිරේක දින වෙන් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පියවර ගත්තා.

මෙහි දී සුපිරි හතර වටයේ අනෙක් තරගවලට අතිරේක දින වෙන් නොකර ඉන්දු – පාකිස්තාන තරගයට පමණක් විශේෂත්වයක් කිරීම දැඩි ලෙස කතා බහට ලක් වීමට පටන් ගත්තා.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම නායකයෙකු ලෙස සැලකුම් ලබන අර්ජුන රණතුංග මහතා විසින් ද මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය අදහස් දක්වා තිබෙනවා‍ෙ

“ආසියානු කුසලානය ගන්න, තරගාවලියට පෙර නීති-රීති තිබුණා. නමුත් ඒ එක තරගයකට පෙර ඔවුන් නීති වෙනස් කළා

කෝ ACC? කෝ ICC? 

“එක කණ්ඩායමක් වෙනුවෙන් නීති වෙනස් කරන තරගාවලියකින් මට එතරම් පහසුවක් ඇති කරන්නේ නැහැ. ඔබ අනාගත විනාශයක් දෙසයි බලා සිටින්නේ.”

රණතුංග විසින් මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ මෙම අදහස් දක්වා ඇති බව ESPN Cricinfo විසින් තවත් ඉන්දීය පුවත් සේවයක් වන PTI උපුටා දක්වමින් සඳහන් කරනවා. 

මෙහි දී රණතුංග විසින් ICC සහ ACC වෙත කෙළින්ම සිය ඇඟිල්ල දිගු කිරීම විශේෂත්වයක්. 

“ICC සහ ACC ගැන මට ගොඩක් දුකයි. මොකද ඔවුන්ට අවශ්‍ය තමන්ගේ තනතුරු අල්ල ගෙන ඉන්න. හිටපු ක්‍රීඩකයින් පවා විවෘත වෙන්නේ නැහැ. සරලවම ඔවුන්ට මුදල් අවශ්‍ය නිසා.” 

තරගාවලි නීති වෙනස් කරමින් පසුගිය 08 වැනිදා පැවැත්වුණු ඉන්දු පාකිස්තාන තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, එම නිසා තරගය දෙවැනි දිනයට රැගෙන ගියා. එමෙන්ම මෙහි දී ඉන්දියාව විසින් තරගයේ දෙවැනි දිනයේ දී පාකිස්තානයට එරෙහිව ලකුණු 228ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වීම ද විශේෂත්වයක්. මෙම ජයග්‍රහණය ඉන්දියාව තරගාවලි ලකුණු සටහනේ ඉහළින් ම රැඳවීමට විශාලතම හේතුව බවට ද පත් වුනා. 

මෙම නීති වෙනස් කිරීම සිදු වූ දිනවල දී බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා පුහුණුකරුවන් විසින් මේ පිළිබඳ සිය පුදුමය පළ කරමින් අදහස් දක්වමින් කියා සිටියේ වෙනත් තරගාවලි අතරතුර මෙවන් දෑ අත්විඳ නොමැති බවයි. 

“ඉදිරි ලෝක කුසලානයේ ඉන්දියා – පාකිස්තාන තරගයට පෙර ඔවුන් නීති-රීති වෙනස් කළොත් මම නම් පුදුම වෙන්නේ නැහැ. ICC ඔවුන්ගේ කටවල් වහ ගෙන ‘හරි, ඒක කරන්න’ කියාවී. ICC තේරුමක් නැති දේවල් කියනවා, මුකුත් වෙන්නේ නැහැ.” 

එමෙන්ම මෙහි දී රණතුංග විසින් ලෝක ක්‍රිකට් වල BCCI ඒකාධිකාරය ද දැඩි ලෙස විවේචනය කර තිබුණා. 

“ඇයි අනිත් රටවල් එහෙම වෙන්න දෙන්නේ. මොකද BCCI බලවත්, එහෙම නැත්නම් එක් පුද්ගලයෙක් බලවත්. නැහැ, ඒක එහෙම වෙන්න බැහැ. එහෙම වුනා නම් ඔවුන්ට සියලු ම තරග සඳහා අමතර දවස් දෙන්න තිබුණා.” 

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<