මතීෂ පතිරණගේ සුපිරි පන්දු යැවීම චෙන්නායි ඉහළටම ඔසවයි!

IPL 2023

797
Matheesha Pathirana

ශ්‍රී ලංකාවේ වේගපන්දු අනාගතය සුරක්ෂිත බවට කොළ එළි දල්වමින් මතීෂ පතිරණ විසින් ඊයේ (17) පැවැත්වුණු IPL තරගාවලියේ 24 වැනි තරගයේ නිල නොලත් වීරයා බවට පත් වීමට සමත් වුනා.

මෙම තරගය Chennai Super Kings සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, මෙහි දී Bangaloreය පරදවා ලකුණු 8ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Chennai Super Kings සමත් වුනා. එමෙන්ම මෙම තරගයට මතීෂට අමතරව තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ම සහභාගී වීම ද විශේෂත්වයක්.

මෙහි දී Royal Challengers Bangalore නියෝජනය කරමින් ඔවුන්ගේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස වනිඳු හසරංග ක්‍රීඩා කළ අතර, Chennai Super Kings නියෝජනය කරමින් මහීෂ් තීක්ෂණ තරගයට පිවිසුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Bangalore නායක Faf Du Plessis විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව Chennai වෙත ලබා දුන් අතර Ruturaj Gaikwad සහ Devon Conway ආරම්භක පිතිකරු යුගලය ලෙස Chennai ඉනිම ආරම්භ කළා.

තරගාවලියේ පළමු තරග කිහිපයේ විශිෂ්ට පිතිකරණයක නියැළුණු Ruturajට අද තරගයේ දී සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Bangaloreයේ Mohommed Siraj විසින් ඔහුව දවා ගත් අතර, ඉන්පසුව මෙම තරගාවලියේ වඩාත් අනපේක්ෂිත ම ප්‍රහාරකයා ලෙස හැඳින්විය හැකි Ajinkya Rahane විසින් Conway සමඟ පිටියේ එකතු වුනා.

Chennai ඉනිමේ දෙවැනි කඩුල්ලට ඔවුන් විසින් ලකුණු 74ක වේගවත් සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර එම සබඳතාවේ නිමාව සනිටුහන් කිරීමට වනිඳු විසින් Rahane වෙත යැවූ ගුග්ලි පන්දුවකට හැකියාව ලැබුණා.

Rahaneගේ දැවී යාමෙන් අනතුරුව Chennai ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩු වෙතැයි අපේක්ෂා කළ ද, Rahaneගෙන් පසුව Conway සමඟ එක් වූ Shivam Dube විසින් Bangaloreය වෙත නොසිතූ ප්‍රහාරයක් දියත් කිරීමට පටන් ගත්තා.

ඔවුන් දෙදෙනා විසින් Chennai ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37ක් පමණක් වැය කරමින් ලකුණු 80ක සබඳතාවක් පැවැත්වීමට සමත් වූ අතර පන්දු 45කින් ලකුණු 83ක් ලබා සිටි Devon Conwayගේ දැවී යාමෙන් එම සබඳතාව බිඳී ගියා. Conway දැවී යන විට සිය ඉනිමට හයේ පහර සහ හතරේ පහර 6 බැඟින් අන්තර්ගත කරගෙන තිබුණා.

Conwayගේ දැවී යාමෙන් පසුව Dube ද පන්දු 27කින් ලකුණු 52ක් ලබා සිටිය දී දැවී ගිය අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ අති දැවැන්ත හයේ පහර 5ක් අන්තර්ගත වී තිබුණා.

ඉන්පසුව හෝ Chennai ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වීමට ඉඩ ලබා නොදුන් Moeen Ali, Ambati Rayudu සහ Ravindra Jadeja විසින් නියමිත පන්දුවාර 20 අවසන් වන විට Chennai ලකුණු පුවරුව ලකුණු 226ක් දක්වා රැගෙන යාමට සමත් වුනා.

මෙහි දී Bangaloreය වෙනුවෙන් පන්දු යැවූ පන්දු යවන්නන් හයදෙනා ම Chennai ඉනිමේ එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් වූ අතර, මෙහි දී පන්දුවාර දෙකක් පමණක් යොමු කිරීමෙන් පසුව වනිඳු හසරංග හට නැවත පන්දුව ලබා නොදීමට Bangalore නායකයා පියවර ගත්තා.

ඒ වන විට වනිඳු විසින් පන්දුවාර දෙකක් තුල ලකුණු 21ක කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වී තිබූ අතර අනෙක් පන්දු යවන්නන්ට එල්ල වූ ප්‍රහාරයට සාපේක්ෂව බැලූ කළ වනිඳුගේ පන්දු යැවීම හොඳ තත්වයක පැවතුණු බවත් විශ්වාස කළ හැකියි.

පසුව Chennai විසින් කඩුලු 6ක් දැවී යාමෙන් පසු ලබා දුන් ලකුණු 227ක දැවැන්ත ඉලක්කය හඹා යාමට Bangalore ආරම්භක පිතිකරුවන් යුගලය වන Virat Kohli සහ Faf du Plessis පිටියට පිවිසුණා.

තරගාවලිය පුරා අතිසාර්ථක පිතිහරඹයක නිරත වූ Kohliට අද සාර්ථක වීමට ඉඩ ලබා නොදීමට Akash Singh විසින් සමත් වූ අතර, ලකුණු 6කට Kohliගේ ඉනිම අවසන් වුනා. එමෙන්ම ඉන්පසුව පිටියට පිවිසි Mahipal Lomrorව ද ලකුණු ලබා ගැනීමට ප්‍රථම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට Tushar Deshpande විසින් සමත් වුනා.

Bangalore ඉනිමෙ පළමු කඩුලු 2 ම ලකුණු 16ක් වන විට දවා ගැනීමත් සමඟ තරගයේ වැඩි වාසි Chennai වෙත බර වූ නමුත් පසුව Du Plessis සමඟ පිටියේ එක් වූ Glenn Maxwell සියලු සමීකරණ මොහොතකින් සුණුවිසුණු කර දැමීමට සමත් වුනා.

Chennai පිතිකරුවන් විසින් Bangalore පන්දු යවන්නන් හට එල්ල කළ ප්‍රහාරයේ පලිය ගැනීමට සමත් වූ ඔවුන් දෙදෙනා පන්දු 61ක් පමණක් වැය කරමින් ලකුණු 126ක වේගවත් සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

එම සබඳතාව අතරතුර සිය පළමු පන්දුවාර දෙක තුල දී ලකුණු 25ක් ඔවුන් වෙත පුද කළ මහීෂ් තීක්ෂණ විසින් සිය තුන්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් තරගයේ දිශානතිය නැවතත් වෙනස් කිරීමට සමත් වුනේ අත්‍යාවශ්‍ය ම Glenn Maxwellගේ කඩුල්ල බිඳ දමමිනුයි. ඒ වන විට Glenn Maxwell පන්දු 36කින් ලකුණු 76ක් ලබා සිටියේ සිය ඉනිම හතරේ පහර 3ක් සහ හයේ පහර 8කින් වර්ණවත් කර ගනිමිනුයි.

එමෙන්ම Maxwellගේ දැවී යාමෙන් පසුව Faf du Plessis හට ද වැඩි වෙලා පිටියේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් Moeen Ali විසින් පන්දු 33කින් ලකුණු 62ක් ලබා සිටි Plessisගේ ඉනිම නිමා කළා.

ඉන්පසුව පිටියට පිවිසුණු එකඳු Bangalore පිතිකරුවෙකුට හෝ පිටියේ ස්ථාවර වීමට නම් Chennai පන්දු යවන්නන් ඉඩක් ලබා දුන්නේ ම නැහැ. Dinesh Karthik පමණක් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වූවත් ඒ මොහොතේ ලබා ගත යුතු ව තිබූ ලකුණු සංඛ්‍යාව සමඟ සැසඳීමේ දී එය ප්‍රමාණවත් තරමේ ඉනිමක් වුනේ නැහැ.

Bangalore ඉනිමේ 17 වැනි පන්දුවාරය නිමා වන විට ඔවුන්ට කඩුලු 5ක් අතැතිව පන්දු 18කින් ලකුණු 35ක් ලබා ගැනීමට නියමිත ව තිබුණා. නමුත් ඒ මොහොතේ දී Chennai නායක Mahendra Singh Dhoni විසින් එතෙක් පන්දුවාර 2ක් යොමු කර ලකුණු 28ක් ලබා දී තිබූ මතීෂ පතිරණ කෙරෙහි විශ්වාසය තබා ඔහුට පන්දුව බාර දුන්නා.

Dhoni තමා කෙරේ තැබූ විශ්වාසයට උපරිම සාධාරණය ඉටු කිරීමට සමත් වෙමින් මතීෂ විසින් Bangalore ඉනිමේ 18 වැනි පන්දුවාරය ලකුණු 4ක් පමණක් ලබා දෙමින් යොමු කිරීමට සමත් වූ අතර, ඊට අමතරව ඔහු තවත් Bangalore කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් වුනා.

ඒ වන තෙක් දෙපිළට ම ජයග්‍රහණය වෙත සම අවස්ථා හිමි ව තිබූ තරගය Chennai වෙත නැවත හැරවීමට සමත් වූ මතීෂට නැවතත් තරගයේ අවසන් පන්දුවාරය ද යොමු කිරීමේ අවස්ථාව හිමි වූ අතර එවිට ජයග්‍රහණය සඳහා Bangaloreයට ලකුණු 19ක් ලබා ගත යුතු ව තිබුණා.

නමුත් සිය නම Bangaloreයේ M.Chinnaswamy ක්‍රීඩාංගණයේ ලියා තබමින් අතිවිශිෂ්ට පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට මතීෂ සමත් වූ අතර ඔහු එහි දී සිය ප්‍රතිවාදීන් හට ලබා දුන්නේ ලකුණු 10ක් පමණයි.

එමෙන්ම ඔහු තවත් Bangalore කඩුල්ලක් ඉනිමේ අවසන් පන්දුවෙන් බිඳ හෙළීමට ද සමත් වුනා. මතීෂ විසින් තරගයට විශිෂ්ට අවසානයක් ලබා දෙන අතරේ ප්‍රතිවාදී Bangaloreය නියෝජනය කළ වනිඳු හසරංග පන්දු 2කින් ලකුණු 2ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

තරගයේ වීරයා සම්මානය Chennai වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වූ Devon Conway හට හිමි වුනා.

ඒ අනුව Chennai Super Kings සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවැත්වුණු මෙම තරගයෙන් ලකුණු 8ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට Chennai කණ්ඩායම සමත් වූ අතර මෙම ජයග්‍රහණයත් සමඟින් IPL ලකුණු සටහනේ තෙවැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට ද Chennai කණ්ඩායම අද සමත් වුනා.

එමෙන්ම ඊයේ ලැබූ පරාජයත් සමඟින් Royal Challengers Bangalore කණ්ඩායම ලකුණු සටහනේ 7 වැනි ස්ථානය තෙක් පසු බැස්සා.

  • Chennai Super Kings 226/6 (20): Devon Conway 83, Shivam Dube 52, Ajinkya Rahane 37, වනිඳු හසරංග 1-21)
  • Royal Challengers Bangalore 218/8 (20): Glenn Maxwell 76, Faf du Plessis 62, Tushar Deshpande 3/45, මතීෂ පතිරණ 2/42

තරගාවලියේ 25 වැනි තරගය අද (18) Sunrisers Hyderabad සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබ වෙත ලබා දී තිබෙනවා. එමෙන්ම තරගාවලියේ සියලු ම උණුසුම් තතු විත්ති ද ඔබ හා බෙදා ගැනීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<