දඟපන්දු රජු – රශීඩ් කාන් මට්ටු කරමින් රාජස්ථානයෙන් තවත් සුපිරි ජයක්!

227
Credit : BCCI

Sanju Samson සහ Shimron Hetmyerගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසා ඊයේ (16) ගුජරාට් ටයිටන්ස් පරදවා කඩුලු 3ක විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් සමත් වුනා. ඒ ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් රැක ගනිමින්.

ගුජරාට් මහගෙදර වන අහමදාබාද් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගන්නේ රාජස්ථාන් නායකයායි. ඒ අනුව ඔහු මුලින් පිත්ත අතට ගැනීමට ගුජරාට් කණ්ඩායමට යෝජනා කළා. ඊයේ ගුජරාට් පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට සීමා වෙන්නේ Wriddhiman Saha වේලාසන දැවී යාම නිසයි.

එහි දී Sahaගේ පිත්තේ ගැටී රොකට්ටුවක් මෙන් එක තැන ඉහළ නැගි පන්දුව නැවතත් පොළවට පතිත වීමට පෙර රැක ගැනීමට පන්දු රකින්නන් තිදෙනෙකු බලා සිටියා. නමුත් අවසානයේ ඔවුන් අතර ඝට්ටනයෙන් පන්දුව ඉවතට විසිවන විට සිද්ධිය නිරීක්ෂණය කරමින් ඉවතට වී සිටි Trent Boultට එය රැක ගැනීමට අවස්ථාවක් හිමි වුනා.

පවර්ප්ලේ පන්දුවාර නිමා වීමටත් පෙරම Sai Sudharsan දුවද්දී දැවී ගියේ ලකුණු 20කටයි. මේ අනුව Ashwinගේ පළමු පන්දුවාරයට ලකුණු 10ක් උදුරා ගත්තත්, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පවර්ප්ලේ අවස්ථාව නිමා වෙද්දී කඩුලු 2ක් දැවී රැස් කිරීමට හැකිව තිබුණේ ලකුණු 42ක් පමණයි. නමුත් ඉන්පසු ලකුණු වේගය ඉහළ දැමීමට Shubman Gill සහ Hardik Pandya කටයුතු කළා.

ඊයේ Pandya, IPL පිටියේ ලකුණු 2000ක් සහ කඩුලු 50ක් බිඳ හෙළු ක්‍රීඩකයින් සුළුතරය අතරට පිවිසීමට ද සමත් වුනා. ඔහුට පෙර එම ලැයිස්තුවට ඇතුළත් වී සිටියේ Shane Watson, Kieron Pollard, Ravindra Jadeja, Jacques Kallis සහ Andre Russell යන විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයින් පස්දෙනා පමණයි. ඊයේ දිනයේ Pandya සහ Gill අතරේ ගොඩ නැගුනු ලකුණු 59ක සබඳතාවය Yuzvendra Chahal බිඳ දැමුවා.

ඒ වෙද්දී නායක Hardik Pandya පන්දු 19කින් ලකුණු 28ක් ලබා සිටියා. දිගින් දිගටම ලකුණු අතර සිටින Shubman Gill ඊයේ දිනයේත් පන්දු 34කින් ලකුණු 45ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟයි. David Miller පන්දු 30කින් ලකුණු 46ක් රැස් කළේ ගුජරාට් වැඩිම ලකුණු ලාභියා ලෙසයි. ඊයේ දිනයේ ආදේශක ක්‍රීඩකයින් ගොන්නට ඇතුළත්ව සිටියත් ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව තරගය සඳහා යොදා ගත්තේ නැහැ.

මේ අනුව Abhinav Manohar ඉනිමේ අවසන් කොටසේ දී පන්දු 13කින් ලබා ගත් ලකුණු 27ත් සමඟ ගුජරාට් ටයිටන්ස් තමන්ට නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 7කට ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වුනා. පසුගිය තරගයේ MS Dhoniගෙන් අවසන් පන්දුවාරය බේරා ගැනීම නිසා යළි කතාබහට ලක්වූ Sandeep Sharma ඊයේ දිනයේත් ලකුණු 25ට කඩුලු 2ක් දවාගෙන දක්ෂතා අතරට පිවිසියා.

මෙම ඉලක්කය වෙත ළඟා වීමට උත්සාහ දැරූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කඩුලු 2ක්ම ලකුණු 4ක් තුල බිඳ වැටුණා. එහි දී කවදත් ලකුණු අතර සිටින Jos Buttler ඊයේ ලකුණු නොලබාම දැවී ගියේ Mohommed Shami යැවූ දෝලනය සහිත පන්දුවකින් ඔහුගේ පිට ඉන්න ගැලවී ඉවත් වූ නිසයි. Hardik Pandya පන්දුවෙනුත් තම කණ්ඩායමට නායකත්වය සපයමින් Yashasvi Jaiswal එක් ලකුණකට පිටියෙන් ඉවත් කළා.

Devdutt Padikkal ලකුණු 12 දී දවා ගැනීමට තිබූ අවස්ථාවක් Shubman Gill අතින් ගිලිහී ගියා. ඒ ස්ලිප් හි පන්දු රැකි ඔහුට Padikkal ලබා දුන් උඩපන්දුව රැක ගැනීමට නොහැකි වීම නිසයි. ලද අවසරයෙන් ප්‍රයෝජන ගත් රාජස්ථාන් ක්‍රීඩකයින් තෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 43ක් දක්වා වර්ධනය කර ගත්තා. Devdutt Padikkal ලකුණු 26යි. Riyan Paragට වැඩි වේලාවක් පිටිය මැද රැඳෙන්නට Rashid Khan ඉඩ තැබුවේ නැහැ.

රාජස්ථාන් ඉනිමේ කඩුලු 4ක් ලකුණු 55ක් තුල බිඳ වැටී තරග ප්‍රතිඵලය ඕනෑම දිශාවකට ගසාගෙන යා හැකි මෙම තීරණාත්මක අවස්ථාවේ දී Sanju Samson සහ Shimron Hetmyer අතරේ ලකුණු 59ක වේගවත් සබඳතාවයක් වර්ධනය වුනා. තමන්ට සිටි දරුණුම ප්‍රතිවාදියා වන Rashid Khanව ඊයේ Sanju Samson දමනය කරන්නේ 13 වැනි පන්දුවාරයේ දී ඔහුට පිට පිටම හයේ පහර 3ක් එල්ල කරමින්.

අවසානයේ පන්දු 32කින් ලකුණු 60ක් රැස්කර දැවී යන විට Samson තරග ජයග්‍රහණයට අවශ්‍ය වේදිකාව සකසා දී අවසන්ව තිබුණා. රාජස්ථාන් නායකයාගේ සුපිරි ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් ඇතුළත් වුනා. පසුපෙළ පිතිකරුවන් ලෙස Dhruv Jurel සහ Ravichandran Ashwin විසින් Mohommed Shami යැවූ 19 වැනි පන්දුවාරයට ලකුණු 16ක් උදුරාගෙන දැවී ගියා. ඒ අවසන් පන්දුවාර දෙකට ලකුණු 23ක් අවශ්‍ය වූ මොහොතේ තම රාජකාරිය අකුරටම ඉටු කරමින්.

මේ නිසා අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා රාජස්ථානයට අවශ්‍ය වුනේ ලකුණු 7ක් පමණයි. ඒ වෙනුවෙන් චයිනමන් පන්දු යවන ඇෆ්ගන් ක්‍රීඩක Noor Ahmed යොදා ගැනීමට ගුජරාට් නායකයා පෙරලිකාර තීරණයක් ගත්තා. නමුත් එය කිසිදු අයුරකින් සාර්ථක වුනේ නැහැ. අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකෙන්ම තරගය අවසන් කළ Shimron Hetmyer ඒ අතරේ තම අර්ධ ශතකය ද සම්පූර්ණ කර ගත්තා.

පන්දු 26කින් ලකුණු 56ක් ලබා ගත් Hetmyerගේ වේගවත් ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් ඇතුළත් වුනා. ඊයේ පන්දු යැවීමේ දී Mohommed Shami ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තා. Rashid Khan කඩුලු 2ක් දවා ගත්තත් ඔහුට එරෙහිව රාජස්ථාන් පිතිකරුවන් ලකුණු 46ක්ම ලබා ගැනීම විශේෂත්වයක්. තරගයේ වීරයා ලෙස කොදෙව් ප්‍රහාරක පිතිකරු Shimron Hetmyer සම්මාන දිනා ගත්තා.

ගුජරාට් ටයිටන්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 177 (පන්දුවාර 20): David Miller 46, Shubman Gill 45, Hardik Pandya 28, Abhinav Manohar 27, Sai Sudarshan 20, Sandeep Sharma 2/25, Adam Zampa 1/32.

රාජස්ථාන් රෝයල්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 179 (පන්දුවාර 20): Sanju Samson 60, Shimron Hetmyer 56*, Devdutt Padikkal 26, Dhruv Jurel 18, Mohommed Shami 3/25, Rashid Khan 2/46, Hardik Pandya 1/24.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Royal Challengers Bangalore සහ Chennai Super Kings අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලෙස වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ මෙම කණ්ඩායම් දෙක මගින් මිල දී ගෙන තිබීම නිසා මෙම තරගය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේත් වැඩි අවධානයට ලක්වනු ඇති.

ThePapare.com වෙබ් අඩවියට පිවිසීමෙන් මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීවීව නැරඹීමට ඔබට අවස්ථාව උදාකර තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<