පන්දුවෙන් සහ පිත්තෙන් සුපිරි වැඩ පෙන්වූවත් මාෂ් පරාජිත කඳවුරේ!

167
Credit : BCCI

Delhi Capitals කණ්ඩායම වෙනුවෙන් Mitchell Marsh පෙන්නුම් කළ සුපිරි තුන් ඉරියව් දක්ෂතා අභිබවමින් ලකුණු 9ක ජයක් තහවුරු කර ගැනීමට ඊයේ (29) Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුනා. ඒ මෙවර Indian Premiere League තරගාවලියේ 40 වැනි තරගයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Sunrisers නායක Aiden Markram සමත් වූ අතර ඔහු මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉල්ලා සිටියා. ඒ අනුව ඔවුන් තම පන්දුවාර 20 තුලදී කඩුලු 6ක් පමණක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 197ක්.

Delhi මැදපෙළ තුරුම්පු දෙක වන දකුණු අප්‍රිකානු පිතිකරු Aiden Markram සහ එංගලන්ත පිතිකරු Harry Brook තනි ඉලක්කමේ ලකුණු වලට දවා ගන්නට Mitchell Marshට ඊයේ හැකියාව ලැබුනද Delhi පිතිකරුවන් හොඳ ලකුණු වේගයක් නිරන්තරයෙන්ම රඳවා ගැනීමට උත්සාහ කිරීම සාර්ථකත්වයේ රහස වුනා. ඉනිම ඇරඹූ Abhishek Sharma විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 36කින් ලකුණු 67ක් ලබා ගනිමින්.

Abhishekගේ වේගවත් ඉනිමට හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. වරෙක 109ට කඩුලු 5ක් ලෙස සටහන් වූ Sunrisers ඉනිම ලකුණු 200 ආසන්නයටම ගෙන යන්නේ කඩුලු රකින පිතිකරු Heinrich Klaasenගේ සුවිශේෂී ඉනිම් අවසන් කිරීමයි. පන්දු 27කට සාර්ථකව මුහුණ දුන් ඔහු ඉනිම නිමාව දක්වාම කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 53ක් රැස් කළා. ඒ හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟයි.

පසුපෙළ පිතිකරුවෙකු වුවද Akeal Hosein පන්දු 10කින් නොදැවී ලකුණු 16ක් ලබාගෙන තම රාජකාරිය ඉටු කළා. Abdul Samad ලකුණු 28යි. විශිෂ්ට පන්දු යැවීමක යෙදුනු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Mitchell Marsh තම පන්දුවාර 4 තුලදී Sunrisers පිතිකරුවන් සිව් දෙනෙක් ක්‍රීඩාගාරයට හරවා යැව්වේ ලකුණු 26ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනුයි.

පිලිතුරු ඉනිම ඇරඹූ Delhi කණ්ඩායමේ වැදගත්ම පිතිකරුවා වන David Warner ඉනිමේ දෙවැනි පන්දුවේදීම ලකුණු නොලබාම දැවී යාම ඔවුන්ට දැවැන්ත පාඩුවක් වුනා. Bhuvneshwar Kumar ඔහුගේ කඩුල්ල බිඳ දැමීමට සමත් වුනා. ඉන්පසු Mitchell Marsh සහ Philip Salt අතරේ ශතක සබඳතාවයක් ගොඩ නැගුනේ අවශ්‍ය කරන ලකුණු වේගයද රඳවා ගනිමිනුයි.

එහිදී එංගලන්ත ක්‍රීඩක Salt පන්දු 35කින් ලකුණු 59ක් රැස් කළේ හතරේ පහර 9ක් එල්ල කරමින්. පන්දුවෙන් මෙන්ම පිත්තෙනුත් අසමසම දක්ෂතා පෙන්වූ Marsh පන්දු 39කට මුහුණ දී ලකුණු 63ක් ලබා ගත්තා. ඒ එක් හතරේ පහරක් සහ දැවැන්ත හයේ පහර 6ක් සමඟින්. මේ වනවිට Delhi Capitals කණ්ඩායම පන්දුවාර 11ක් තුලදී එක් කඩුල්ලකට ලකුණු 112ක් ලබා සිටි නිසා බොහෝ දෙනා සිතුවේ ඔවුම් මෙම දැවැන්ත ඉලක්කය පසුකර යනු ඇතැයි කියායි.

නමුත් හයිද්‍රාබාද් දඟ පන්දු යවන්නන්ගේ තර්ජනය මැද ඔවුන් දෙදෙනා දැවී යාමෙන් පසු Delhi මැදපෙළ තම යුතුකම ඉටුකළේ නැහැ. මෙම තරගාවලිය පුරාවටම Delhi කණ්ඩායමේ තිබූ විශාලම අඩුපාඩුව ලෙස නම් දැරූ මැදපෙළ පිතිකරුවෙකු නොමැති වීම දැක්විය හැකියි. තරගයේ අවසන් කොටසේදී පිටියට පිවිසි Axar Patel පන්දු 14කින් ලකුණු 29ක් රැස් කළද එය Delhi කණ්ඩායමේ දෛවය වෙනස් කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

පන්දු යැවීමේ දී සුවිශේෂී දස්කම් පෙන්වූ Mayank Markande තම පන්දුවාර 4 ලකුණු 22කට නිමා කළේ කඩුලු 2ක්ද දවා ගනිමින්. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ කලාතුරකින් සිදුවන පරිදි පරාජිත කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තරගයේ වීරයා සම්මානය හිමිවීමද ඊයේ දැක ගන්නට ලැබුනා. ඊට හිමිකම් කිව්වේ ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Mitchell Marshයි.

Sunrisers Hyderabad – කඩුලු 6ක් දැවී ලකුණු 197 (පන්දුවාර 20)

Abhishek Sharma 67, Heinrich Klaasen 53*, Abdul Samad 28, Akeal Hosein 16*, Rahul Tripathi 10, Mitchell Marsh 4/27, Axar Patel 1/29.

Delhi Capitals – කඩුලු 6ක් දැවී ලකුණු 188 (පන්දුවාර 20)

Mitchell Marsh 63, Philip Salt 59, Axar Patel 29*, Priyam Garg 12, Mayank Markande 2/20, Abhishek Sharma 1/26.

මෙම ජයග්‍රහණයත් සමඟින් Sunrisers කණ්ඩායම ලකුණු සටහනේ අංක 8 ස්ථානය දක්වා උසස්වීම් ලැබුවා. Indian Premiere league තරගාවලියේ අද (30) තරග 2ක් ක්‍රියාත්මක වන අතර Chennai Super Kings සහ Punjab Kings අතර තරගය සවස 3.30ටත්, Mumbai Indians සහ Rajastan Royals අතර තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි. එහි තරග තොරතුරු සහ සජීවී දසුන් වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<