බ්‍රිතාන්‍ය ශූරියගෙන් පොලිසියට වර්ගවාදී චෝදනා

188

බ්‍රිතාන්‍ය කෙටි දුර ධාවනශූරී බින්කා විලියම්ස් සහ ඇගේ සහකරු වන රිකාඩෝ ඩොස් සැන්ටොස් ගමන් ගත් මෝටර් රථය පසුගිය දා ලන්ඩන් පොලිසිය මගින් නතර කළ අවස්ථාවේ දී පොලිසිය විසින් වර්ගවාදී සහ අමානුෂිකව කටයුතු කළ බවට ඇය විසින් චෝදනා කර ඇත.

SAG ප්‍රගති සමාලෝචන වාර්තාවේ කරුණු විමර්ශනය අවසන්

බ්‍රිතාන්‍ය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් ජයග්‍රහණය කර ඇති විලියම්ස් මෙම සිදුවීම පිළිබඳව ඉතා කනස්සල්ලෙන් යුතුව BBC වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමන් මීට පෙර මෙවැනි අත්දැකීමකට මුහුණ දී නොමැති බවත්, මෙම සිදුවීම නිසාවෙන් තමන් ඉතා වේදනාවට පත්වූ බවයි.

“අප ජීවත් වන ලෝකය පිළිබඳව ඉතා කනගාටුවට පත්වනවා, මා ඉතා වේදනාවට පත්වුනා. ඔවුන් අපට එසේ සැලකීම ඉතා අමුතු දෙයක් වුනා, මා වඩාත්ම වේදනාවට පත්වුනේ මගේ දරුවාගෙන් ඉවතට මාව ඇදගෙන යාම නිසයි” යැයි ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එරට පොලිසිය ප්‍රකාශ කර සිටියේ එම රථය මාර්ගයේ වැරදි පසින් පැමිණීම නිසා නතර කිරීමට දුන් විධාන ද මගහරිමින් ධාවනය කළ නිසා මෙලෙස කටයුතු කිරීමට සිදු වූ බවයි.

එම නිවේදනය පිළිබඳව ද අදහස් දක්වමින් බින්කා විලියම්ස් ප්‍රකාශ කර සිටියේ පාරේ වැරදි පසින් රිය පැදවීමට හෝ පලායාමට ඔවුන්ට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවයි.

“ඔවුන්ගේ හැසිරීම නිසාවෙන් අපට මෝටර් රථයෙන් බැසීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔවුන් බැටන් පවා සූදානම් කරගනිමින් ඉතා බියකරු ලෙසයි හැසිරුණේ. පොලිසිය ඒ විදියට හැසිරුනාම ජීවිතය පිළිබඳව බයක් ඇතිවනවා, අපගේ දරුවත් වාහනයේ සිටියා.

ඔවුන් මගේ සහකරුවව කාර් එකෙන් ඇදල අරන් මාංචු දාලා බිත්තිය දෙසට තල්ලු කර සිටියා. මට මගේ මාස තුනේ පුතාගෙන් ඈත් වෙන්න උවමනාවක් තිබුණේ නැහැ, ඒත් එයාලා මාවත් මෝටර් රථයෙන් ඇදලා අරන් මාංචු දැම්මා.

එය ඉතාම අප්‍රසන්න දෙයක්, පොලිසිය මගේ සහකරු හා කතා කරමින් සිටියේ ඔහු වංචාකරුවෙක් වගේ, ඔහුගේ ජීවිතය වැදගත් දෙයක් නොවෙයි වගෙයි. පොලිසිය පැවසුවා ඔබ අප සොයන කෙනෙක් වගේ, මෙවැනි යුරෝ හැටදහක් වටින මෝටර් රථයක් ඔබට ලබා ගත හැක්කේ කෙසේ ද, ඔබ සැකසහිතයි කියලා.

අපගේ පුත්‍රයා වාහනයේ සිටිය දී ම ඔවුන් මිනිත්තු 45ක් පමණ අප දෙදෙනාව මාංචු යොදා තබමින් පරීක්ෂා කිරීම සිදු කළා” යැයි ඇය වැඩි දුරටත් පවසා සිටියා.

සාවද්‍ය තොරතුරු සැපයූ ලෝක ශූරයාට වැඩ වරදි

තවද විලියම්ස් සහ රිකාඩෝ විසින් පසුගිය සඳුදා දින සිය නීතිඥයින් හමුවී ප්‍රකාශ කර තිබුණේ 2017 වසරේ ඔවුන් සිය වාහනය මාරු කිරීමෙන් අනතුරුව 15 වතාවක් පමණ මෙලෙස පොලිසිය නතර කර ඇති බවයි.

පොලිසියේ මෙම හැසිරීම වර්ගවාදී බවට විවිධ පාර්ශවයන් විසින් චෝදනා කරන අතර සටහනක් තබමින් බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් 1992 ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනා ගත් ලින්ෆර්ඩ් ක්‍රිස්ටි සඳහන් කර තිබුණේ පොලිසිය විසින් තම බලය ජාතිවාදය මුල් කරගනිමින් අයුතු ලෙස භාවිතා කර ඇති බවයි.

පසුගිය දා ඇමරිකාවේ දී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු මරා දැමීම නිසාවෙන් ලොව පුරා වර්ගවාදයට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වූ අතර ක්‍රීඩා තරග අතරතුර දී ද ක්‍රීඩකයන් එම සිදුවීමට විරෝධය පෑමට කටයුතු කරනු දක්නට ලැබුණි. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<