ආබාධය සුව කරගන්න ගිය Chaharට තවත් ආබාධයක්

ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022

1595

Chennai Super Kings කණ්ඩායමේ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Deepak Chahar පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.

කෙසේ නමුත් ඒ සඳහා ආදේශ වන ක්‍රීඩකයා කවුරුන්ද යන්න Chennai Super Kings විසින් තවමත් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

පෙබරවාරි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි විස්සයි විස්ස තරගයේ දී Chahar පාදයක ආබාධයකට ලක්වුනා. ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලිය ද අහිමි වූ නමුත් අප්‍රේල් මාසය අග දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත්, Bengaluru හි පිහිටි ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී ඔහු සිය පාදයේ ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීමට අදාළ පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටිය දී, Chahar පිට කොන්දේ ආබාධයකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ගියවර IPL තරගාවලියේ ශූරතාවය දිනා ගත් Chennai Super Kings මෙවර IPL තරගාවලියේ ඔවුන් මුහුණ දුන් පළමු තරග 4ම නොකඩවා පරාජයට පත්වීමෙන් පසුව පසුගිය දා ඔවුන් සිය පළමු ජයග්‍රහණය ලබා ගත්තා.

Chennai Super Kings පන්දු යවන්නන් අතර නව පන්දුවෙන් කඩුලු දවා ගැනීමේ තිබෙන දුර්වලතාවය ඔවුන්ගේ මේ තරග පරාජය සඳහා විශාල බලපෑමක් එල්ල කළ සාධකයක් වුනා.

මීට අමතරව Kolkata Knight Riders කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Rasikh Salam ද පිට කොන්දේ ආබාධයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසාවෙන් ඔහුට මෙවර IPL තරගාවලියේ ඉතිරි තරග සියල්ලම මඟ හැරී යන අතර, ඔහුගේ ක්‍රීඩක ආදේශය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක Harshit Rana සංචිතයට කැඳවීමට Kolkata Knight Riders කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<