ක්‍රීඩාගාරයේ වීදුරුව කුඩු කළේ ෂකිබ් අල් හසන්

2427
Shakib Al Hasan

පසුගිය ඉරිදා නිමාවට පත්වූ නිදහස් කුසලාන අවසාන මහා තරගය නොසිතූ පෙරළි රැසක් සිදු වූ අවසාන මහා තරගයක් විය.

[rev_slider LOLC]

ශ්‍රී ලාංකිකයන් දහස් ගණනින් ඉන්දියානු කණ්ඩායම පසුපස පෙළගැසෙද්දී, රෝහිත් ශර්මාගේ ඉන්දියානු කණ්ඩායම අවසාන පන්දුවේ දී ලකුණු 167ක ඉලක්කය සපුරා ගනිමින් බංගලාදේශ කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගන්නට සමත් විය. මුස්ටෆිසුර් රහ්මාන්ගේ සුපිරි පන්දු වාරය හමුවේ ජයග්‍රහණය ඉන්දියාවෙන් ඈතට ගියේ අවසාන පන්දුවාර දෙක තුල දී ලකුණු 34ක් රැස් කිරීමේ දැවැන්ත අභියෝගය ඉන්දීය කණ්ඩායම හමුවේ තබමිනි.

නෑසුවෙමි නුදුටුවෙමි

2018 නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අප කෙදිනකවත් නෑසු නුදුටු සිදුවීම්..

තිබූ පීඩනය දරා ගනිමින් සැහැල්ලුවෙන් පිටිය මැදට ආ දිනේෂ් කාර්තික් සුපිරි හයේ පහරකින් සිය ඉනිම ඇරඹිය. පන්දු 8ක් තුල ලකුණු  29ක් රැස් කර ගනිමින් බංගලාදේශ පන්දු යවන්නන් ප්‍රේක්ෂකයින් බවට පත් කර, අවසාන මොහොතේ ජාවේඩ් මියන්ඩාඩ්ගේ වික්‍රමය වැනි වික්‍රමයක් යළිත් තිරගත කරමින් අවසාන පන්දුවට එක්ස්ට්‍රා කවර් කලාපයෙන් හයේ පහරක් එල්ල කර ජයග්‍රණය ඉන්දීය කණ්ඩයම වෙත හිමිකර දීමට සමත් විය.        

දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමට බැට දුන් සිය ජන්මාන්තර ප්‍රතිවාදීන් වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ප්‍රජාව මහත් සේ වෛර කළ ද, සිකුරාදා බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් දිස්වූ අපකීර්තිමත් නොමනා හැසිරීම හමුවේ දසදහස් ගණනින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෝ ඉන්දීය ජයග්‍රහණය උදෙසා රොද බැඳ ගත්හ. සිකුරාදා ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ දී ‘පිස්සු නැටූ’ බංගලාදේශ ක්‍රීඩකයින්ට නිසි දඬුවම් නොලැබුනාදෝ යැයි පහළ වූ කුතුහලය මේ තත්වය තවත් ඉහළ දැමීමට හේතුවක් විය.    

තරගාවලිය ඉතා තරගකාරීව නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණය ද ආරක්ෂා කර ගනිමින් පසුගිය සිකුරාදා බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය තෙක් පැවතිණි. නමුත් තරගය අවසාන පූර්ව තරගයක් බවට නිතැතින්ම පත්ව තිබූ නිසාවෙන් තරගයේ උණුසුම ඉතා ඉහළ මට්ටමක පැවතුනි. මෙතෙක් තරගාවලියේ එකඳු තරගයක් හෝ ක්‍රීඩා නොකළ බංගලාදේශ නායක ෂකිබ් අල් හසන් සිකුරාදා තරගයට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණි අතර සිකුරාදා තරගය අතරතුර දී ඔහුගේ හැසිරීම අපකීර්තිමත් ලෙස වෙනස් වීමත් සමඟ සිය ‘ජ්‍යෙෂ්ඨයා’ ගේ අඩිපාරේ ගිය බංගලාදේශ නවක ක්‍රීඩකයෝ ද අපේක්ෂා කළ නොහැකි අන්දමින් පහත් හැසිරීමක් පෙන්වුහ.

ශකීබ්ට හා නරුල්ට එරෙහිව තරග තීරකවරයා ක්‍රියාත්මක වේ

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන 2018 නිදහස් කුසලාන තුන්කොන්…

හතරේ සීමාවෙන් එපිට සිටිමින්, විනිසුරුවන් ඉසුරු උදානගේ පන්දුවකට නිපන්දුවක් සංඥා නොකළේ යැයි විරෝධය පල කළ නායක ෂකිබ් අල් හසන් ඔහුගේ පිතිකරුවන්ට තරගය අතහැර දමා පැමිණෙන ලෙස පැවසු අතර රූපවාහිනී කැමරාවලට එම සිදුවීම් මාලාව මනා සේ හසුවී තිබුණි. ඉන් තත්පර කිහිපයකට පසු ඉසුරු උදානගේ පස්වැනි පන්දුවට මහමදුල්ලාගේ පිත්තෙන් අලංකාර ෆ්ලික් පහරකින් ලකුණු හයක් වාර්තා වීමත් සමඟම බංගලාදේශ ක්‍රීඩාගාරයේ දැවැන්ත විදුරු ද්වාරය බිඳී ගියේය.   

CCTV කැමරා දර්ශනවලින් වීදුරුව බිඳ දැමූ තැනැත්තා පැහැදිලිව හසු නොවුනත් තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් වරදකරුවා සොයා එම අවස්ථාවේ ආහාර පාන සැපයීම සඳහා ක්‍රීඩාගාරයට යොදවා සිටි සේවකයින්ගෙන් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සහ බංගලාදේශ කණ්ඩයම් රැඳී සිටි මොවෙන්පික් (Movenpick) හෝටලයෙන් කණ්ඩයම් දෙකේ ආහාර පාන අවශ්‍යතා ඉටු කිරීම සිදු කෙරුණි. ඒ සඳහා අනුයුක්ත කර සිටි සේවකයෙකුගෙන් ප්‍රශ්න කිරීමේ දී ක්‍රීඩාගාරයට හානි කළේ බංගලාදේශ නායක ෂකිබ් අල් හසන් බව තරග තීරක වෙත දැනුම් දී තිබේ.

සිද්ධිය ඇසින් දුටු තැනැත්තා ක්‍රිස් බ්‍රෝඩ් හට පවසා ඇත්තේ ෂකිබ් වීදුරුවට හානි කිරීමේ චේතනාවෙන් යුතුවම දොර තල්ලු කළ බවයි.

2004 වසරේ සිට තරග තීරකවරයෙකු ලෙස ක්‍රියා කරන ක්‍රිස් බ්‍රෝඩ්, ඇසින් දුටු සාක්ෂි තිබියදීත් ෂකිබ්ගේ අපකීර්තිමත් ක්‍රියාව නොසලකා හරිමින් සියයට විසිපහක දඩයක් හා අයහපත් කුසලතා ලකුණක් පමණක් ප්‍රදානය කරමින් මෙම සිද්ධිය අවසාන කිරීමට උත්සහ කිරීම විමතිය දනවන කරුණක් වී ඇත.

ශ‍්‍රී ලංකාව හඬවා බංග්ලාදේශය අවසන් සටනට

තරගයේ තිබූ තියුණු මුහුණුවර දෙපිළේ ක්‍රීඩකයන් අතර වූ උණුසුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය..

ගත වූ වසර කිහිපය තුල දී බංගලාදේශය කණ්ඩයමක් ලෙස ඉතා විශිෂ්ට දස්කම් පෙන්වමින් ඉහළට පැමිණ තිබේ. ෂකිබ්, මුෂ්ෆිකර් රහීම්, මුස්ටෆිසුර්, තමීම් ඉක්බාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ද ලිටන් දාස්, මෙහෙදී හසන් හා මොමිනුල් හක් වැනි නවකයින් ද කණ්ඩයම වෙනුවෙන් මහත් සේවයක් ඉටු කර ඇත. ක්‍රිකට් ප්‍රජාව ඔවුන්ව අගය කළ යුතු කාලය මෙය වුවත් ෂකිබ් වැනි ක්‍රීඩකයින්ගේ මෙවැනි හැසිරීම් නිසා ඔවුන්ට ලැබිය යුතු ගෞරවය ද ඔවුන්ට නොලැබී යනු ඇත.

බංගලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩයමේ ඇතැම් ක්‍රීඩකයින් ද කෝපවී හැසිරෙනු දක්නට ලැබුණි. කුසල් මෙන්ඩිස්, ධනංජය සිල්වා චෝදනාවලට ලක් නොවුනත් ඔවුන් නියෝජනය කරන්නේ මුළු මහත් ශ්‍රී ලංකාවම බව ඔවුන් ද මතක තබා ගත යුතුය.

ක්‍රීඩකයින් සියලු දෙනාටම දිනේෂ් කාර්තික්ගෙන් උගත හැකි පාඩමක් ඇත. දිනේෂ් කාර්තික්ගේ වික්‍රමය නොවන්නට ඉන්දීය කණ්ඩයම නිදහස් කුසලාන පහස නොවිඳිනු ඇත. නමුත් ඔහු ජයග්‍රහණය වින්දේ ඉතාම මහත්මා විලාශයකිනි. ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාගේ සිත් දිනා ගනිමින් ඉන්දීය නායක රෝහිත් ශර්මා ශ්‍රී ලංකා කොඩිය පෙරටු කර ගනිමින් පිටිය වටේ ගමන් කළේ ප්‍රේක්ෂකයින්ට උපහාර දක්වමිනි. තරගකාරී බව පවත්වා ගන්නා අතරතුරම ක්‍රීඩාවේ ජීව ගුණය ද පවත්වා ගැනීම සියලු දෙනාගේ යුතුකම වනු ඇත.

රෙක්ස් ක්ලෙමන්ටයින්ගේ Shakib Al Hasan broke dressing room door ලිපියේ පරිවර්තනයකි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<