මීගමුව ක්‍රීඩකයින් ජයග්‍රාහීව සිව්වැනි සතියට

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

173

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ තෙවැනි සතිය අද (19) නිමාවට පත්වුනේ මීගමුව ක්‍රීඩකයින් විසින් පොලිස් ක්‍රීඩා සමාජ​ය පරාජය කරද්දී, Lava Lane සහ Saunders අතර තරගය සමව අවසන් වෙමින්.

කෙසේ නමුත්, Solid SC සහ New Star SC අතර තරගය නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවයි.

Java Lane SC සහ Saunders SC

ගෝල 1-1ක් ලෙස සමව මෙම තරගය නිමාව දුටුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

තරගයේ ප්‍රථම අර්ධය ගෝල රහිතව නිමා වූ අතර දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් පසු ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට Java Lane ක්‍රීඩක මාලක පෙරේරා සමත් වුනා. ඒ 63 වැනි මිනිත්තුවේ දීයි.

එම ගෝලයත් සමඟින් එල්ල වූ පීඩනය මැඩපවත්වා ගන්නට ප්‍රතිවාදී Saunders ක්‍රීඩකයින් සමත් වුනේ 83 වැනි මිනිත්තුවේ දී. ඒ පැතුම් ගිම්හාන විසින් සාර්ථක කර ගත් ගෝලයත් සමඟින්. කෙසේ නමුත් ඉන්පසුව කණ්ඩායම් දෙක සම ලකුණු තත්වයකට පිවිසි අතර ජයග්‍රාහී ගෝලය වාර්තා කරන්නට කිසිදු කණ්ඩායම් සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Java Lane SC 1 – 1 Saunders SC

ගෝල ලාභීන්

  • Java Lane – මාලක පෙරේරා (63’)
  • Saunders – පැතුම් ගිම්හාන (83’)

Negombo Youth FC සහ SL Police SC

ගාල්ල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මෙම තරගය නිමාවට පත්වුනේ ගෝල 2-1ක් ලෙස පොලිස් ක්‍රීඩකයින් හමුවේ මීගමුව ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමිනි.

තරගයේ පළමු අර්ධයේ දී ම පෙරමුණ ගන්නට මීගමුව ක්‍රීඩකයින් සමත් වුනේ ගෝල දෙකක් වාර්තා කරමිනි. 22 වැනි මිනිත්තුවේ දී ක්‍රිස්ටියන් ප්‍රනාන්දු විසින් වාර්තා කළ ගෝලයේ උණුසුම යන්නටත් මත්තෙන් 27 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ මීගමුව නායක නිලූක ජනිත් මීගමු ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනා.

ගෝල 2-0ක් ලෙස නිමා වූ පළමු අර්ධයෙන් අනතුරුව දෙවැනි අර්ධයට පිවිසි පොලිස් ක්‍රීඩකයින් සාර්ථකව ප්‍රතිවාදීන් මෙල්ල කරමින් ගෝල රැස් කරන්නට උත්සාහ කළත් එය සාර්ථක වන්නේ තරගය නිමා වන්නට මොහොතක් තිබිය දීයි.

90 වැනි මිනිත්තුවේ දී ශිෂාන් ප්‍රබුද්ධ විසින් පොලිසිය වෙනුවෙන් ගෝලයක් වාර්තා කළත් එය තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමට දිනා දීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Negombo Youth FC 2 -1 SL Police SC

ගෝල ලාභීන්

  • මීගමුව – ක්‍රිස්ටියන් ප්‍රනාන්දු (22’), නිලූක ජනිත් (27’)
  • පොලිස් – ශිෂාන් ප්‍රබුද්ධ (90’)

තෙවැනි සතියේ පැවති අවසන් තරගය Solid SC සහ New Star SC අතර පැවැත්වුණේ කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩා පිටියේ දීයි. එම තරගය ජයග්‍රාහකයෙකු නොමැතිව අවසන් වුනේ කිසිදු ගෝලයක් දෙපිලේම ක්‍රීඩකයින් විසින් වාර්තා නොකරමිනි.

ශූරයින්ගේ පාපන්දු ලීගයේ සිව්වැනි සතිය එළඹෙන සතියේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<