නිල් මහා සටන ලෙස විරුදාවලි ලත් රාජකීය – සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ 138 වන වරටයි. මාර්තු 9, 10 සහ 11 දින වල දී කොළඹ SSC ක්‍රීඩාංගණයේ මෙවර තරගය පැවැත්වීමට නියමිතයි. මෙරට පැරණිතම මහා ක්‍රිකට් තරගය වන නිල් මහා සටන ලොව දීර්ඝතම කාලයක් පුරා නොකඩවා පැවැත්වෙන ක්‍රිකට් තරගය ලෙසත් සැලකෙයි. 138 වන නිල් මහා සටනට පෙර ගල්කිස්ස සාන්ත තෝමස් කණ්ඩායමේ සූදානම පිළිබඳව කෙරෙන විමසා බැලීමක් මේ.

නාලන්දාව ජයග්‍රහණයට මාන බලද්දී, මහා තරගයේ වැඩි වාසි ආනන්දයට

මේ වසරේ සුලෝහිත සංග්‍රාමයට පිවිසෙන ආනන්ද කණ්ඩායම නාමිකව ගත් කල වඩාත් ප්‍රබල කණ්ඩායමයි. මෙවර තරග වාරය තුල තරමක් රළු ගමනක යෙදුණු නාලන්ද ක්‍රීඩකයන් …

සාන්ත තෝමස් විද්‍යාලය මීට වසර 9 කට පෙර ඩී. එස්. සේනානායක පලිහ තමන් සතු කර ගන්නට සමත් වුව ද, පසුගිය මහා ක්‍රිකට් තරගයේ දී රාජකීයයන් එම ශූරතාව නැවත කොළඹට රැගෙන යන්නට සමත් විය. එබැවින් රොමේෂ් නල්ලපෙරුමගේ නායකත්වයෙන් යුතු සාන්ත තෝමස් ක්‍රීඩකයන්, ගිලිහී ගිය ගෞරවය නැවත ලබා ගැනීම සඳහා දැඩි සටනක නිරත වනු ඇති.

සාන්ත තෝමස් ක්‍රීඩකයන් මෙවර නිල් මහා සටනට පිවිසෙන්නේ ඉතා විශිෂ්ට තරග වාරයකින් පසුවයි. තරග 12ක ජයග්‍රාහී අන්තයේ පසුවුණු ඔවුන් ඒ අතුරින් තරග 5ක් පූර්ණ ජයග්‍රහණ බවට පත් කරගෙන තිබේ. ඔවුන් අවසන් වරට සහභාගී වූ ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවති තරගය ද පූර්ණ ජයග්‍රහණයකින් හමාර කල ඔවුන් එම ඉහල මානසික ශක්තිය ද සමඟ රාජකීයයන් හට අභියෝග කරනු ඇති.

පිත්තෙන් ලකුණු 650ක් ද දකුණත් දඟ පන්දුවෙන් කඩුලු 15ක් ද හිමි කරගෙන ඇති රොමේෂ් නල්ලපෙරුම ආක්‍රමණශීලී පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර අවශ්‍ය අවස්ථා වල දී ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කිරීමට ද හැකියාව ඇති ක්‍රීඩකයෙකි. පළමු වසරේ වර්ණලාභියෙකු ලෙස කණ්ඩායමේ නායකත්වය දරන ඔහු ThePapare.com වෙත මෙලෙස අදහස් පල කරන ලදී. ” අපිට ඉන්නේ ඉතාම යොවුන් කණ්ඩායමක් වුවත් අපි ඉතාම හොඳින් දක්ෂතා අතර සිටීම සතුටුදායකයි. අපි බලාපොරොත්තු වෙනවා මෙම ක්‍රිකට් තරගයේ කිරුල නැවත ගල්කිස්සට රැගෙන එන්න.’

උප නායක රවිඳු කොඩිතුවක්කු තෙවන වසරේ වර්ණලාභියෙකු වන අතර ඔහු ස්ථාවර ආරම්භක පිතිකරුවෙකු ලෙස වගකීම ඉටු කරමින් ලකුණු 800කට වැඩි ප්‍රමාණයක් ලබා සිටින්නේ සාන්ත තෝමස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ද වෙමිනුයි. එමෙන්ම නායකයා මෙන්ම දකුණත් දඟ පන්දු යවන්නෙකු ලෙස කඩුලු 26ක් දවා ගන්නට ද ඔහු සමත් වී ඇත. තම සිව්වන මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන රවිඳු කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා යි.

කණ්ඩායමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ ප්‍රකට රග්බි විනිසුරු ඩින්කා පීරිස් ගේ පුත් ඩෙලන් පීරිස් ක්‍රීඩකයායි. පළමු වසරේ වර්ණලාභියෙකු වන ඔහු තම දෙවන මහා ක්‍රිකට් තරගයට එක් වන අතර වමත් පා දඟ පන්දුවෙන් දවා ගත් කඩුලු 65ට අමතරව පිත්තෙන් වාර්තා කළ ලකුණු 300 කින් ද කණ්ඩායමට දායකත්වය සපයා තිබේ.

Photo Album: S.Thomas’ College Cricket Team Preview 2016/17

තවත් වමත් පා දඟ පන්දු යවන්නෙකු වන පවිත් රත්නායක මෙවර සාන්ත තෝමස් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින්නේ මෙම තරග වාරයේ කඩුලු 100 සීමාව පසු කල අතලොස්සක් වූ සුපිරි දක්ෂයන් අතරට තම නම ද සටහන් කිරීමේ ආසන්නයටම පැමිණෙමින්. ඔහු මේ වන විට කඩුලු 96ක් දවාගෙන ඇති අතර, මහා ක්‍රිකට් තරගයේ දී කඩුලු ශතකයේ සීමාව පසු කිරීම පිළිබඳ පවිත් මෙන්ම සාන්ත තෝමස් ක්‍රීඩාලෝලීන් ද බලාපොරොත්තුවෙන් පසු වනු ඇති.

මස්ටැංග්ස් කුසලාන සීමිත පන්දුවාර තරගයේ දී සාන්ත තෝමස් කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත් වූ සතිර හපුහින්න වමතින් පිත්ත හසුරුවමින් මෙවර තරග වාරයේ දී ලකුණු 300 සීමාව පසු කර තිබෙන අතර කඩුල්ල පසුපස වගකීම දරන්නේ ද සතිරයි.

සාන්ත තෝමස් ආරම්භක පන්දු යවන්නන් වන දිනුර ගුණවර්ධන සහ කලන පෙරේරා දකුණත්, වමත් වේග ආණ්ඩු සංකලනයෙන් කඩුලු 20කට වඩා දවාගෙන ඇති අතර දිනුර ආරම්භක පිතිකරුවෙකු ලෙස ද කටයුතු කරයි.

මීට අමතරව සාන්ත තෝමස් කණ්ඩායමේ අනෙකුත් පිතිකරුවන් ලෙස මලින්ත විජේරත්න (ලකුණු 700), දුලිත් ගුණරත්න (ලකුණු 450) සහ තෙවින් ඊරියගම (ලකුණු 120) හඳුන්වා දිය හැකිය.

දීර්ඝ කාලයක් පුරා සාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දිනේෂ් කුමාරසිංහ, මෙවර ද එම වගකීම ඉටු කරයි. ”මේ තමයි 1983 වසරෙන් පසු සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරන ලාබාලතම කණ්ඩායම, නමුත් ඔවුන් ඉතාම හොඳින් ක්‍රීඩා කර තිබෙනවා” ඔහු පවසයි.

සාන්ත තෝමස් විද්‍යාලය මෙවර 1996 ලෝක කුසලාන දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල ඩේව් වට්මෝර් ද, තම පුහුණු කාර්යමණ්ඩලයට ඇතුලත් කර ගැනීම නිල් මහා සටනේ දී සාන්ත තෝමස් කණ්ඩායමේ දක්ෂතා වර්ධනයට බෙහෙවින් උපකාරී වනු ඇති. ThePapare.com වෙත අදහස් දක්වමින් වට්මෝර් පැවසුවේ මෙවැන්නක්. ”මේ කණ්ඩායමේ තිබෙන විශේෂත්වය තමයි ඔවුන්ට මුහුණ දීමට සිදුවන ඕනෑම අවස්ථාවක් මනාව කළමනාකරණය කර ගැනීමට ඇති හැකියාව. ඇත්තෙන්ම එය මේ කණ්ඩායමෙන් මම දැකපු ඉතා සුවිශේෂී හැකියාවක්.”

මෙවර පාසල් තරග බිමේ සිටින ලාබාලතම කණ්ඩායමක් වුව ද ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ඉතා සමබර ක්‍රීඩක සංකලනයකින් මහා ක්‍රිකට් ගැටුමට පිවිසෙයි. 138 වන මහා ක්‍රිකට් ගැටුමේ ගෞරවය වෙනුවෙන් දින තුනක් පුරා තරග වදින රොමේෂ් නල්ලපෙරුම ප්‍රමුඛ සාන්ත තෝමස් කණ්ඩායමට ThePapare.com අපගේ සුබ පැතුම්.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න