මාතර, New Star සහ මොරගස්මුල්ල සමාරම්භක ජයග්‍රහණ අතරට

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

160

කොරෝනා වසංගතය නිසාවෙන් වසරක කිහිපයක් පැවැත්වීමට නොහැකි වූ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය අද (03) ආරම්භ වුනා.

තරගාවලියේ සමාරම්භක සතිය අද ආරම්භ වුනේ මාතර කොටවිල, කුරුණෑගල මාලිගාපිටිය සහ කොළඹ බැද්දේගාන ක්‍රීඩාංගණවල දී පැවති තරග සමඟිනුයි.

එහි දී Negambo Youth සමඟ පැවති තරගය ජය ගන්නට Matara City ක්‍රීඩකයින් සමත් වෙද්දී, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල (SLTB) කණ්ඩායම පරාජය කරන්නට Moragasmulla ක්‍රීඩා සමාජය සමත් වුනා. පැවති අනෙක් තරගයේ දී Crystal Palace ක්‍රීඩකයින් පරාජය කරන්නට New Star සමත් වුනා.

New Star සහ Crystal Palace

මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජය ගන්නට New Star ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ ප්‍රථම අර්ධය ගෝල රහිතව නිමා වූ අතර වාර්තාව වූ ජයග්‍රාහී ගෝල දෙකටම හිමිකම් කියන්නට සමත් වුනේ New Star ක්‍රීඩක කැළුම් ප්‍රියංකරයි. එම ජයග්‍රාහී ගෝල වාර්තා වුනේ තරගයේ 65 වැනි සහ 88 වැනි මිනිත්තුවල දීයි.

අවසන් ලකුණු තත්වය: New Star 2- 0 Crystal Palace

ගෝල ලාභීන්:

  • New Star – කැළුම් ප්‍රියංකර (65’ & 88’)

SLTB සහ Moragasmulla

ගෝල 3-0ක් ලෙස අවසන් වූ මෙම තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුනත්, ක්‍රීඩා පිටියට අයහපත් කාලගුණයෙන් එල්ල වූ බලපෑම් නිසාවෙන් තරගය බැද්දේගාන ක්‍රීඩා සංකීර්ණයට රැගෙන යෑමට සංවිධායකයින් තීරණය කළා.

තරගයේ පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස අවසන් වුනේ Moragasmulla ක්‍රීඩකයින් පෙරමුණ ගනිමිනුයි. එරන්ද ප්‍රසාද් එම ගෝලයට හිමිකම් කීවා.

ඉන් අනතුරුව තරගය අවසන් වන විට තවත් ගෝල දෙකක් සිය කණ්ඩායමට එකතු කරන්නට Moragasmulla ක්‍රීඩකයින් සමත් වූ අතර එම ගෝල අතරින් 67 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ ගෝලය ඩිලාන් මදුවන්ත සතු වුනා.

තරගයේ අවසන් ගෝලය වාර්තා වුනේ අතිරේක කාලයේ දීයි. ඒ ගෝලයත් සමඟින් එරන්ද මේ තරගයේ දී වාර්තා කරන්නට සමත් වූ ගෝල ගණන 2ක්.

අවසන් ලකුණු තත්වය: SLTB 0 – 3 Moragasmulla

ගෝල ලාභීන්:

  • Moragasmulla – එරන්ද ප්‍රසාද් (10’ & 90+3’), ඩිලාන් මදුවන්ත 67’

Matara City සහ Negombo Youth

මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කළේ සත්කාරක මාතර ක්‍රීඩකයින් විසිනුයි.

ඔවුන් පළමු අර්ධයේ සිටම පෙරමුණ ගන්නට සමත් වූ අතර එම අර්ධයේ දී වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීවේ මාතර ක්‍රීඩක Boadu Prince. ඒ 20 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව තරගයේ ගෝල මට්ටම සම කරන්නට Negombo ක්‍රීඩක නවෝද් විහඟ සමත් වුනේ 66 වැනි මිනිත්තුවේ දීයි. කෙසේ නමුත් ඒ අභියෝගයට පෙරලා අභියෝග කළ Prince සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් මාතරට ජයග්‍රහණය රැගෙන ආවා.

අවසන් ලකුණු තත්වය: Matara City 2- 1 Negombo Youth

ගෝල ලාභීන්:

  • Matara City – Boadu Prince (20’, 73’)
  • Negombo Youth – නවෝද් විහඟ (66’)

තරගාවලියේ සමාරම්භ සතියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

මෙවර ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සියලුම පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<