St. Mary’s දැවැන්ත ජයග්‍රහණයකින් ශූරයින්ගේ ලීගය අවසන් කරයි

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

169
Champions League 2022 week 13 day 1

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට මේ වන විට Matara City Club සමත් වී අවසන්.

නමුත් තරගාවලියේ අවසන් සතිය හෙවත් 13 වැනි සතියේ තරග 4ක් අද දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුනා. එම තරගවල දී පිළිවෙළින් මොරගස්මුල්ල, Negombo Youth FC, New Star SC සහ Solid SC පරාජය කරමින් ජයග්‍රහණ වාර්තා කරන්නට St. Mary’s, Super Sun, SLTB සහ පොලිස් කණ්ඩායම් සමත් වුනා.

Moragasmulla SC සහ St. Mary’s SC

මොරගස්මුල්ලට දැවැන්ත පරාජයක් අත්කර දෙමින් කුරුණෑගල මාලිගාපිටියේ දී නිමා වූ මේ තරගයෙන් ගෝල 5-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට St. Mary’s සමත් වුනා.

ප්‍රථම අර්ධයේ දී කණ්ඩායම් දෙකම ගෝල කිසිවක් වාර්තා කරන්නට සමත් වුනේ නැහැ. නමුත් දෙවැනි අර්ධයේ දී තරගයේ ආධිපත්‍ය සම්පූර්ණයෙන් තමන් දෙසට හරවා ගන්නට St. Mary’s ක්‍රීඩකයින් සමත් වුනා.

Sebamalainayagam Gnana විසින් ගෝල 4ක් වාර්තා කරන්නට සමත් වුනා. ඒ 61, 70, 80 සහ 91+2 වැනි මිනිත්තුවල දීයි. ඊට අමතරව St. Mary’s නායක Jesuthasan Amittan විසින් 90+1ක් මිනිත්තුවේ දී ද ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Moragasmulla SC සහ St. Mary’s SC

ගෝල ලාභීන්:

  • Moragasmulla – Sebamalainayagam Gnana (61’, 70’, 80’ & 91+2’), Jesuthasan Amittan (90+1)

Super Sun SC සහ Negombo Youth FC

ගෝල 3-2ක් ලෙස Super Sun ජයග්‍රහණය වාර්තා කළ මෙම තරගය පැවැත්වුණේ ගාල්ලේ දීයි.

තරගයේ ප්‍රථමයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළේ මීගමුව නායක නිලූක ජනිත් විසිනි. ඒ 9 වැනි මිනිත්තුවේ දීයි. ඉන් අනතුරුව ප්‍රථම අර්ධය අවසන් වීමට පෙර 36 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ මීගමුව ක්‍රීඩක Anthony Ikwegbuo විසින් ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනා.

ගෝල 2-0ක් ලෙස ප්‍රථම අර්ධය අවසන් වීමෙන් අනතුරුව දෙවැනි අර්ධයේ දී සාර්ථකව මීගමුව ක්‍රීඩකයින් හඹා යන්නට Super Sun සමත් වුනා. එහි දී කසුඟ විසින් 70 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා.

කෙසේ නමුත්, 74 වැනි මිනිත්තුවේ දී මීගමුව ක්‍රීඩ සඳුන් නිරෝෂන් අතින් සිදු වූ අත්වැරදීමකින් Own Goal අවස්ථාවක් ඔස්සේ ලකුණක් ප්‍රතිවාදීන්ට පිරිනැමුණේ තරගය සම මට්ටමට පත් වෙමිනුයි.

ඉන් අනතුරුව කසුඟ විසින් 77 වැනි මිනිත්තුවේ දී සිය දෙවැනි ගෝලයත් සාර්ථක කර ගනිමින් තරගයේ ජයග්‍රහණය Super Sun වෙත දිනා දුන්නා.

අවසන් ලකුණු තත්වය: Super Sun SC 3 – 2 Negombo Youth FC

ගෝල ලාභීන්:

  • Super Sun – එන්. එන්. කසුඟ (70’ & 77’)
  • Negombo Youth – නිලූක ජනිත් (9’), Anthony Ikwegbuo (36’), සඳුන් නිරෝෂන් (74’-OG)

SLTB සහ New Star SC

කැළණියේ දී පැවති මෙම තරගය ද අවසන් වුනේ ගෝල 3-2ක් ලෙසයි. එහි දී New Star පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනේ SLTB ක්‍රීඩකයින් විසිනුයි.

16 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ ගෝලය සඳහා හිමිකම් කීවේ SLTB ක්‍රීඩක රුවන් චානකයි. ඉන් අනතුරුව ප්‍රථම අර්ධය අවසන් වීමට පෙර ගෝල දෙකක් වාර්තා කරන්නට New Star සමත් වුනා. ඒ ගෝල දෙක සඳහාම හිමිකම් කීවේ Mohamed Anas විසිනුයි.

දෙවැනි අර්ධයේ සාර්ථක හඹා යෑමක් සටහන් කරමින් SLTB ක්‍රීඩකයින් ද ගෝල දෙකක් වාර්තා කරන්නට සමත් වුනා. 57 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Mohamed Sajid විසින් දෙවැනි SLTB ගෝලය වාර්තා කරද්දී, තෙවැනි ගෝලය වාර්තා කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට Vijesundaram Yugesh සමත් වුනා. ඒ 75 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයත් සමඟිනුයි.

අවසන් ලකුණු තත්වය: SLTB 3 – 2 New Star SC

ගෝල ලාභීන්:

  • SLTB – රුවන් චානක (16’), Mohamed Sajid (57’), Vijesundaram Yugesh (75’)
  • New Star – Mohamed Anas (38’ & 45+2’)

Solid SC සහ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය

අනුරාධපුර දී පැවති මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනේ පොලිස් ක්‍රීඩකයින් විසිනුයි.

තරගය ආරම්භ වී ප්‍රථම අර්ධයේ අවසානයට ආසන්න වෙද්දී පොලිස් ක්‍රීඩකයින් ලකුණු වාර්තා කිරීම ආරම්භ කළා. එහි දී වාර්තා වූ පළමු ගෝලයේ අයිතිය සිතිර කුමාර සතු වූ අතර පළමු අර්ධයේ අතිරේක මිනිත්තුවේ දී දනූෂ පෙරේරා විසින් දෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනා.

දෙවැනි අර්ධයේ දී කණ්ඩායමේ දෙකේම ක්‍රීඩකයින් ගෝල වාර්තා කරන්නට සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Solid SC  0 – 2 ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය

ගෝල ලාභීන්:

  • පොලිස් – සිතිර කුමාර (42’), දනූෂ පෙරේරා (45+1’)

ශූරයින්ගේ ලීගයේ අවසන් සතියේ තවත් තරග කිහිපයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තරග ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<