පාපන්දු නිලවරණයට මාස දෙකක්

159

රට තුල පාපන්දු ක්‍රීඩාව පාසල් මට්ටමින් දියුණු කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ සඳහා සහයෝගය ලබා දීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිලධාරීන් එකඟ වූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) නිලධාරීන් සමඟ ඊයේ (06) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී  ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි ගමන පිළිබඳව පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ  (FFSL) පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සැකසීමට සියලු පාර්ශව එකඟ විය. නව ව්‍යවස්ථාව තුලින් පැහැදිලි බලය බෙදීම සමඟ ශක්තිමත් පාලන ක්‍රමවේදයක් ස්ථාපිත වනු ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල කාලය මේ වන විට අවසන්ව ඇත. නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමේ ඡන්දයක් පැවැත්වීම සඳහා මාස 02ක කාලයක් ලබා දීම සුදුසු බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් අමාත්‍යවරයා වෙත යෝජනා කරනු ලැබීය.

මූල්‍යමය හා පරිපාලන කටයුතු සඳහා ස්ථීරවම වගකිව යුතු නිලධාරියෙකු සිටීමේ වැදගත්කම මෙහි දී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ස්ථීර ලේකම්වරයෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරියෙකු සංගමය වෙත බඳවා ගැනීමට එකඟත්වය පල විය.

ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවැරදි මාවතේ ගෙන යාම හා ක්‍රීඩකයා වෙනුවෙන් අවශ්‍ය පුහුණුව, තෝරාගැනීම් පිළිබඳව කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමාත්‍යවරයා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ පාසල් පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමට වැඩි අවධානයක් ලබා දෙන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා කළ ඉල්ලීමට දකුණු ආසියාවේ ප්‍රාදේශීය කාර්යාල සංවර්ධන කළමනාකරු ප්‍රින්ස් රූෆස් මහතා එකඟතාව පළ කළේය.

මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ එම්. ඒ. පාලන ප්‍රධානී රොල්ෆ් ටැනර්, ආසියානු කලාපය බාර අධ්‍යක්ෂ සංජීව බාලසිංහම්, දකුණු ආසියාවේ ප්‍රාදේශීය කාර්යාල සංවර්ධන කළමනාකරු ප්‍රින්ස් රූෆස් යන මහත්වරු හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා සහ අභියාචනා උපදේශක කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ද සහභාගී වූහ.

ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනයකි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<