චමින්ද වාස්ට නව තනතුරක්!

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1074

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් මහතා ලබන වසරේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන Dhaka Dominators කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

1996 ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ චමින්ද වාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින කඩුලු 400ක් සහ ටෙස්ට් කඩුලු 300ක් දවා ගත් එකම වේගපන්දු යවන්නා වන අතර ලොව වැඩිම එක්දින කඩුලු ලාභීන් අතර ද ඔහු තවමත් පසුවන්නේ සිව්වැනි ස්ථානයේයි.

ක්‍රීඩා දිවියට විශ්‍රාම දීමෙන් අනතුරුව 2012 වසරේ නවසීලන්තය සමඟ සිය පුහුණුකාර ධුරය ආරම්භ කළ චමින්ද වාස් ඉන්පසුව අයර්ලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස වසර දෙකක් කටයුතු කළා.

2013 සිට 2015 තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ වාස් 2017 වසරේ දී නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කළ අතර ඔහු නැවතත් 2021 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙසින් වැඩ භාර ගත්තා.

චමින්ද වාස් පුහුණුකරු ලෙසින් කටයුතු කරන කණ්ඩායම තරගාවලියේ පළමු අදියර දෙකේ දී  Dhaka Gladiators ලෙසින් හැඳින්වූ අතර පළමු අදියර ද්විත්වයේ ශූරතාවය දිනා ගැනීමට ද ඔවුන් සමත් වුනා.

එම කණ්ඩායම විසුරුවා හැරීමෙන් පසුව පාර්ශව හතරක් කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගැනීමට ඉදිරිපත් වීමෙන් පසුව Rupa Fabrics ආයතනය විසින් එම කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගැනීමට සමත් වුනා.

09 වැනි වරටත් සංවිධානය කරන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජනවාරි 05 සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<