“පරාජයේ වගකීම් පිතිකරුවන් සතුයි” – කොදෙව් පුහුණුකරු

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

333

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ස්කොට්ලන්තය සමඟ මූලික තරගයේ දී සිය කණ්ඩායමේ පිතිකරුවන් ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව තමන් අසතුටට පත් වූ බව බටහිර ඉන්දීය කොදෙව් ප්‍රධාන පුහුණුකරු Phil Simmons ප්‍රකාශ කළා.

ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමේ කඩුලු හයක් ලකුණු 21ක් තුළ බිඳ වැටීම නිසා තරගයේ ලකුණු 42ක පරාජයක් ලබා ගැනීමට කොදෙව් ක්‍රීඩකයින්ට සිදු වුනා.

එම පරාජය පිළිබඳව සිය අදහස් දැක්වූ කොදෙව් ප්‍රධාන පුහුණුකරුවා ප්‍රකාශ කළේ, එම පරාජයේ සියලු වගකීම් පිතිකරුවන්ට පවරන බවයි.

“මම හිතන්නේ ඒක කියන්න තියෙන එකම විදිය අපි කනස්සල්ලට පත් වුනා කියලා තමයි. මම හිතන්නේ අපේ පිතිකරුවන් සියල්ලම වෘත්තීය මට්ටමට ක්‍රීඩා කළේ නැහැ. මම හිතනවා අපි ආයේ නැගිටලා පිතිකරණය ගැන ලොකු අවධානයක් දෙන්න ඕන. පන්දු යවන්නන් වෙහෙස මහන්සි වෙලා හොඳ දේවල් කරද්දී පිතිකරුවන් ඒ සියල්ල අපතේ යවනවා.

ඒ වගේම මම දන්නේ නෑ ඇයි එහෙම වුනේ කියලා (ඉක්මන් කඩුලු දැවී යාම). මම තවමත් ඔවුන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ. මුලින්ම අපි එයාලට නිවෙන්න දෙමු. ඒ වගේම මම ක්‍රීඩාගාරයට ගිහින් ප්‍රශ්න කරන්න කලින් මමත් ටිකක් සන්සුන් වෙන්න ඕන.

මම හිතන්නේ ඒ ඔක්කොම සරල දැවී යාම්. පිතිකරුවන් මීට වඩා තමන්ගේ කඩුල්ල ගැන විශේෂ අවධානයක් දෙන්න ඕන. අපි සෑම විටම ලකුණු වේගය රඳවා ගත්තත් දිගින් දිගටම කඩුලු අහිමි වුනා. අපි පසුගිය කාලසීමාවේ එයට විසඳුමක් හොයන්න උත්සහ කළත් තවමත් ඒක හරි ගිහින් නැහැ,” යැයි ඔහු තරගයෙන් පසුව ප්‍රකාශ කළා.

එම තරගයේ ලැබූ පරාජයත් සමඟ තරමක තරගකාරී කාණ්ඩයක සිටින කොදෙව් කණ්ඩායමට මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීම තරමක් අවිනිශ්චිතව ඇති අතර වර්ෂාවෙන් ද ඔවුන්ගේ මීළඟ තරගවලට බාධා එල්ල වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.

තරගාවලියේ ඉදිරි සැලසුම් පිළිබඳව සිය අදහස් දැක්වූ කොදෙව් ප්‍රධාන පුහුණුකරු ප්‍රකාශ කළේ, ඔවුන් සියල්ලට පෙර සිම්බාබ්වේ කණ්ඩායම පරදවා සිටිය යුතු බවයි.

“අපි දැන් හිතන්න ඕන සිම්බාබ්වේ තරගය ගැන සහ ඔවුන්ව කොහොම ද පරාජය කරන්නේ කියලයි. පසුගිය වසරේ බංග්ලාදේශ ක්‍රීඩකයින් ද එක් තරගයක් පරාජය වුනත් ඔවුන් මීළඟ වටයට සුදුසුකම් ලැබුවා. ඒ නිසා අපිට හිතන්න තියෙන්නේ සිම්බාබ්වේ ගැන විතරයි.”

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න