අමිහිරි පරාජයන් මිහිරි ජයග්‍රහණ කළ මාස 12 ගැන නැමීබියා නායකයා කතා කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

3068
Namibian captain Gerhard Erasmus speaks

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නොසිතූ පරාජයක් අත්විඳීමට සිදු වුනා. ඒ නැමීබියාව හමුවේ ලකුණු 55කින් පරාජය වෙමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නැමීබියානු කණ්ඩායමේ මුල්පෙළ සහ මැදපෙළ පහසුවෙන් ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, අවසන් පන්දුවාර 5 තුළ දී නොසිතූ ප්‍රහාරයකට ලක්වීමට ඔවුන්ට සිදු වුනා. Jan Frylinck සහ JJ Smit පන්දු 33 ක් තුළ වේගවත් ලකුණු 69ක් වාර්තා කරමින් සිය ලකුණු පුවරුව ලකුණු 163ක් බවට පත්කිරීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් තුළ ලකුණු 108කට සියල්ලන් දැවී ගියා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නැමීබියානු නායක Gerhard Erasmus පවසා සිටියේ තම කණ්ඩායම සියලු සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කිරීමට සමත් වූ බවයි.

“අපි ගිය අවුරුද්දේ තරගය සහ මේ තරගය බැලුවොත් මාස 12ක වගේ කාලයක දී අපි ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සමත් වෙලා තියෙනවා. මම හිතන්නේ තරගයට පෙර අපේ තිබුණ සූදානමත් එක්ක අපි නිවැරදිව අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්න සමත් වෙලා තියෙනවා. අවුරුද්දක් වගේ කාලයක් තුළ අපි පුහුණු වුන දේවල් පන්දුවාර 40ක් තුළ ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි ඒක හරියටම කළා.”

තරගයේ අවසන් පන්දුවාර කිහිපය තුළ Jan Frylinck සහ JJ Smitගේ දස්කම් පිළිබඳව ද Gerhard Erasmus අදහස් දක්වා සිටියා.

“Jan Frylinck සහ JJ Smit ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. අපි පන්දුවට පහර දුන්න ආකාරයත් එක්ක අපි අඳුරගත්තා ක්‍රීඩා කරන්න අමාරු පන්දු මොනවා ද කියලා. අපි පන්දු යවද්දී අපි යොදාගත්තේ ඒ සැලසුම්. දවස අවසානයේ දී අපි හොඳින් ක්‍රීඩා කළා. ඒක තමයි තරගයේ ස්වභාවය. තණතීරුවේ ස්වභාවය එක්ක ලකුණු 164ක් කියන්නේ හොඳ ලකුණු සංඛ්‍යාවක්. මේ තණතීරුවේ පන්දුවට පහරදීම තරමක් අසීරු දෙයක්.”

මෙම ජයග්‍රහණය නැමීබියානු කණ්ඩායමේ ප්‍රබලතම ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගයක් තුළ ටෙස්ට් වරම් නොමැති රටකට පරාජය වූ පළමු අවස්ථාව ද වනවා.

“මේ තරගය ජයග්‍රහණය කිරීම අපිට ලොකු සතුටක් වගේම ලොකු බලාපොරොත්තුවක් ගෙනාවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ ටෙස්ට් වරම් තියෙන කණ්ඩායමක් මේ වගේ ලෝක කුසලාන තරගයක දී පරාජය කරන්න ලැබීම. මේක අපේ ජීවිතවල ලොකු සංධිස්ථානයක්. මේ ජයග්‍රහණය සමරන්න ඕනේ තමයි. ඒත් අපි ඉක්මණින්ම තරගකාරී මානසිකත්වයට එන්න ඕනේ. මේක තරගාවලියේ ආරම්භය විතරයි. අපි බලන්න ඕනේ සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. සුපිරි 12 දෙනාගේ වටයට යන එක තමයි අපේ මීළඟ අරමුණ වෙන්නේ.”

පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ද සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කළ නැමීබියානු කණ්ඩායම සිය කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමට සමත් වුනා. එම වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී ලබා ගත් අත්දැකීම් මෙම තරගාවලිය සඳහා පන්නරයක් වූ බව නායක Gerhard Erasmus පවසනවා.

“පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලිය අපිට ලොකු අත්දැකීමක් වුනා. ඒ තරගාවලියේ ඉගෙන ගත්ත ගොඩක් දේවල් අපිට ප්‍රයෝජනවත් වුනා මේ තරගාවලියට සූදානම් වෙන්න. ලෝක මට්ටමේ තරගාවලියකට මුහුණ දෙන්න අවශ්‍ය හැකියාවන් මොනවා ද කියලා අපිට අදහසක් ගන්න පුළුවන් වුනා. විශේෂයෙන් පන්දුවේ වේගය සහ ප්‍රතිවාදීන්ගේ හැකියාවන් වල ගුණාත්මකභාවය ගොඩක් වැදගත් වුනා. ඒවා මත තමයි අපේ පුහුණුවීම් කළේ. කෙටිපන්දු වලට අපි වැඩි අවධානයක් යොමු කළා.”

“මේ තරගය ක්‍රීඩා කළ ක්‍රීඩාංගණයේ හතරේ සීමාව කෙටි පැති තිබුණා. අපි poweplay පන්දුවාර වල හතරේ පහර වාර්තා කළේ ඒවා අඳුරගෙන. ඒ වගේම දඟපන්දු යවන්නන්ට මුහුණ දෙන්න අපි පුහුණු වුනා. විශේෂයෙන් තරගයේ මැද පන්දුවාර වල හසරංග වගේ පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙන්න අපිට පුළුවන් වුනා. ඉනිමේ අවසන් පන්දුවාර වලදී එතරම් දෝලනයක් තිබුණේ නැහැ. ඒ නිසා ඒක අපේ හැකියාවන්ට හොඳින් ගැළපුනා.”

“පසුගිය මාස 12ක කාලය තුළ අපි අවධානය යොමු කළ දේවල් වුන කඩුලු අතර දිවීම, කඩුල්ලට පසුපසින් ලකුණු ලබා ගැනීම වගේ දේවල් හොඳින් ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් වුනා. අපි ළඟ දැනටමත් තියෙන හැකියාවන් වගේම නව හැකියාවන් ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ.”

“කණ්ඩායමක් විදිහට මම හිතන්නේ අපේ ලොකුම හැකියාව වෙන්නේ එක් එක් ක්‍රීඩකයන් ඔවුන්ගේ වගකීම නිවැරදිව හඳුනාගෙන තියෙන එක. උදාහරණයක් විදිහට ස්මිත් ගත්තම ඔහු ඔහුගේ තැනට පන්දුව පතිත කළොත් එයින් උපරිම ලකුණු ලබාගන්න සමත් වුනා. ඒකෙන් අපිට තරගයේ වාසිය ලබා ගන්න පුළුවන් වුනා.”

“ඒ වගේම පන්දු රැකීමෙනුත් අපි දස්කම් දක්වන්න සමත් වුනා. ඉතාමත් හොඳ උඩපන්දු කිහිපයක් ලබාගන්න පුළුවන් වුනා,” නායක Gerhard Erasmus තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<