මදුශංක ලෝක කුසලානයෙන් ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

906

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු බලාපොරොත්තුවක් වූ වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක ලෝක කුසලානයෙන් ඉවත් කර තිබෙනවා.

අද (16) නැමීබියාව සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සමාරම්භක තරගයට පෙර පැවති අවසන් පුහුණු සැසියේ දී, 20 හැවිරිදි වියේ පසු වන, මදුශංක  සිය පළමු පන්දුවාරයේ පන්දු හතරක් පමණක් යැවීමෙන් අනතුරුව තම ඉණ ප්‍රදේශය වේදනාවෙන් යුතුව අල්ලා ගනිමින් පුහුණු සැසියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

ඉන්පසුව වැඩි දුරටත් කෙරුණු පරීක්ෂණවලින් සනාථ වී ඇත්තේ ඔහු කලව ආශ්‍රිතව (quadricep) ආබාධයකට ලක් වී ඇති බවත්, එම නිසාවෙන් ඔහු සති කිහිපයක් විවේක ගැන්වීමට සිදුවන බවයි.

ඉකුත් දා නිමා වූ, ශ්‍රී ලංකාව ආසියානු ශූරයින් බවට අභිෂේක ලැබූ, ආසියානු කුසලානයේ දී විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වූ මදුශංක මෙවර ලෝක කුසලානය සඳහා ද ඇතුළත් කර ගනු ලැබුවේ ඔහු විසින් දැක්වූ විශිෂ්ට වේගපන්දු යැවීමේ දක්ෂතා නිසාවෙනුයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය විසින් තවමත් ඔහු වෙනුවට ආදේශ කරන්නේ කවුරුන් දැයි කියා නිවේදනය කර නොමැති නමුත්, අතිරේක ක්‍රීඩක ලැයිස්තුවේ සිටින බිනුර ප්‍රනාන්දු මදුශංක වෙනුවට කණ්ඩායම සඳහා ආදේශ කිරීමට සම්භාවිතාවක් පවතිනවා.

අදින් (16) ඇරඹෙන ලෝක කුසලානයෙන් උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<