චමීර හා කුසල් ජනිත් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

151

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා නායක කුසල් පෙරේරා ICC එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට සමගාමීව පැවති ශ්‍රී ලංකා බංග්ලාදේශ තෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 97කින් ජය ගත් අතර එම තරගයේ දී දැක්වූ දක්ෂතා නිසා ඔවුන් දෙදෙනා මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

චමීර එම තරගයේ දී ලකුණු 16කට කඩුලු 5ක් දවා ගත් අතර තරගයේ වීරයා සම්මානය ද හිමි වුනේ ඔහුටයි. තරගාවලිය පුරා දැක්වූ දක්ෂතා නිසා පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 27ක් ඉදිරියට පැමිණ 33 වැනි ස්ථානයට පැමිණෙන්නට චමීර සමත්ව තිබෙනවා. චමීර දෙවැනි තරගයේ දී කඩුලු තුනක් දවා ගන්නට සමත් වූ අතර තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු රැඳී සිටියේ 72 වැනි ස්ථානයේයි.

තවත් ක්‍රිකට් පුවත්:

බංග්ලාදේශයට එරෙහි තරගයේ දී සිය 6 වැනි එක්දින ශතකය රැස් කර ගත් කුසල් පෙරේරා ස්ථාන 13ක් ඉදිරියට පැමිණ එක්දින පිතිකරුවන් වර්ගීකරණයේ 42 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. කුසල් 2016 වසරේ ජුනි මාසයේ දී පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 41 වැනි ස්ථානයට පැමිණ තිබුණු අතර ඒ ඔහු දක්වා තිබූ ඉහළම දක්ෂතාවයයි.

තෙවැනි තරගයේ දී ලකුණු 55ක් රැස් කළ ධනංජය ද සිල්වා එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 85 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ඔහු පන්දු යවන්නන් අතර 79 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටින අතර තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ස්ථාන 7ක් ඉදිරියට පැමිණ 24 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ICC වෙබ් අඩවිය ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<