ආන්දෝලනාත්මක ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නවතී

107

හෝමාගම දී ඉදිකිරීමට නියමිතව තිබූ මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) අරලියගහ මන්දිරයේ දී හිටපු සහ වත්මන් ක්‍රීඩකයින් හමුවීමෙන් අනතුරුව මෙම යෝජිත නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ යෝජනාව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේ නවතම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව හිටපු ක්‍රීඩකයින්ගේ, විශේෂයෙන් හිටපු නායකයින්ගේ විරෝධතා බොහෝ ලෙස එල්ල විය. එයට මහේල ජයවර්ධන, අර්ජුන රණතුංග සහ රොෂාන් මහනාම ද එක්ව සිටියහ.

මේ නිසා හෝමාගම නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ද සහභාගී වූ රැස්වීමක් සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග යන මහත්වරුන් කැඳවා තිබුණි.

මෙම රැස්වීමෙන් පසු මහේල ජයවර්ධන සිය Twitter ගිණුමේ “එය ඵලදායි රැස්වීමක් වුනා. අප සැවොම ආදරය කරන ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ධනාත්මක ප්‍රගතියක් ලබා ගත හැකියි” යනුවෙන් සඳහන් කර තිබුණි.

හිටපු නායක සනත් ජයසූරිය රැස්වීමෙන් පසු නිව්ස්වෙයාර් වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, 

“එය ඉතා හොඳ සාකච්ඡාවක්, මේ වන විට පාසල් හා අනෙකුත් ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අපි ක්‍රිකට් ක්‍රීඩකයින් විදිහට රජය දැනුවත් කළා. මේ දැවැන්ත ක්‍රීඩාංගණ තැනීමට කාලය නොවේ.”

මෙම සාකච්ඡාව සඳහා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් කීපදෙනෙකු එක්ව සිටි අතර ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් නඟා සිටුවීම සඳහා තම යෝජනා හා අදහස් ඉදිරිපත් කර සිටියා. 

චම්පක රාමනායක මාලිංගව වීරයෙක් කළ හැටි

මහේල ජයවර්ධන: “අපි පාසල් ක්‍රිකට් සම්බන්ධයෙන් පසුගිය වසරේ ලොකු වැඩපිළිවෙළක් කළා. අපි බැලුවොත් මධ්‍යම පළාතේ පාසල් ක්‍රිකට් කණ්ඩායම් තියන පාසල් 50ක් පමණ තියනවා. ඒ පාසල්වල තණතිලි සහිත පාසල් තියෙන්නේ 4යි. බස්නාහිර පළාතේ පාසල් 169ක් පමණ තියනවා. ඒකේ තණතිලි සහිත පාසල් තියෙන්නෙ 18යි. සමහර පාසල් මැට්න් වල ක්‍රීඩා කරන්නේ. උතුරු පළාතේ පාසල් 26ක් ක්‍රිකට් සෙල්ලම් කරනවා. තණතීරු තියෙන්නේ එකයි. සබරගමුවේ එකම තණතීරුවක් සහිත ක්‍රීඩාංගණයක් නෑ. වයඹ පළාතට තණතීරු 4යි තියෙන්නේ.”

“ඒ වගේම ක්‍රිකට් සභාපතිතුමා කිව්වා පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ 9කට ඔවුන්ගේම ක්‍රීඩාංගණය නෑ කියලා. ඒ වගේම පළමු පෙළ කණ්ඩායම්වලින් කණ්ඩායම් දෙකයි ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල සෙල්ලම් කරන්නේ. ඒ එස්. එස්. සී. ක්‍රීඩාංගණයයි පී. සරා ක්‍රීඩාංගණයයි. මේ නිසා ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක අත්දැකීම් නෑ. සූරියවැව, පල්ලෙකැලේ, ඛෙත්තාරාම, දඹුල්ල ක්‍රීඩාංගණවල අපි පළමු පෙළ තරග ක්‍රීඩා කරන්නේ නෑ. මේ දේවල් එක්ක අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු ප්‍රශ්නයක් තියනවා. ඉස්සෙල්ලම අපි මේ ගැන හිතන්න ඕන. අපි කොහෙටද මුදල් යොදන්නේ කියලා.”

“ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් එන්නේ පාසල් තරගවලින්. මේ අවුරුදු 10-15 කාලය තුල අපි පාසල් ක්‍රිකට්වලට අවධානය යොමු කළේ නෑ. අපි තණතීරු එක්ක ක්‍රීඩාංගණ හදන්න ඕන ඒ මට්ටමෙන්, ඒ ක්‍රීඩකයන් බිහිකරන්න. ඒ වගේම මේ අවුරුදු 10ක කාලය තුල වැඩිම ක්‍රීඩකයන් බිහි වෙලා තියෙන්නේ පිට පළාත්වලින්. කොළඹින් නෙමෙයි. අපි තාමත් පිට පළාත්වලට අවශ්‍ය ඒ පහසුකම් දීලා නෑ. යුද්ධයෙන් පස්සේ උතුරු නැගෙනහිර ඉන්න දක්ෂතා තියන ක්‍රීඩකයන්ට ඒ පහසුකම් අපි දීලා නෑ.”

“අපි ඩොලර් මිලියන 40ක ණයක් ගත්තම අපි 3%ක 4%ක වගේ පොළියක් ගෙවන්න ඕනේ. අපි අවුරුදු 10ක් හෝ 15ක් ඒක ගෙවන්න ඕන. ඒ මුදල අපිට ක්‍රිකට් ක්‍රීඩාවට යොදවන්න පුළුවන් නම් ඒක හොඳ ආයෝජනයක් අපේ ක්‍රීඩකයන් බිහිකරන්න. ක්‍රිකට් ක්‍රීඩාව කණ්ඩායම කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒක නෑ. එතකොට අපිට ටෙලිවිෂන් වලින් ලැබෙන ආදායම අපි හිතන තරම් ලැබෙන්නේ නෑ. මේ කොරෝනා තත්ත්ව එක්ක ගත්තම තව අවුරුදු 3-4 ක් යනතුරු අපිට එන අනුග්‍රාහකයන් අඩු වෙනවා. එයාලට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයත් වැටුප් කප්පාදුවලට යොමුවෙනවා.”

“අපි හිතන තරම් ආදායමක් ඉදිරි අවුරුදුවල දී ලැබේවි කියලා මම හිතන්නේ නෑ. එහෙම ලැබෙයි කියලා අපි සැලසුම් හැදුවොත් අපි ලොකු කරදරේකට වැටෙනවා. මේ තියන තත්ත්වය එක්ක අපේ රටේ තත්ත්වය බලලා අපි වැඩියෙන් අවධානය යොමුකරන්න ඕන ක්‍රීඩකයන් බිහිකරන්න.” 

බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියත් නොපැවැත්වෙන ලකුණු

සනත් ජයසූරිය: “අපි ක්‍රිකට් ක්‍රීඩාව එක තැනකට ගෙනල්ලා තියනවා. දැන් ඒක පහළට වැටෙන තත්ත්වයක් තියෙන්නේ. ඒක දැන් වැටෙන තැනින් උඩට ගේන්න අවශ්‍යයි නම් අපි හැමෝටම එකතු වෙලා කරන්න ලොකු වගකීමක් තියනවා. එක එක්කෙනා එහාට මෙහාට ඇද ඇද මේක කරන්න බෑ.”

“අපි ඔක්කොම පරණ ක්‍රීඩකයන් හා පාලනාධිකාරිය එකතු වුනේ නැත්නම් මේක කරන්න බෑ. අපිට එක තැනක දී මෙහෙම කරන එක හොඳයි මෙහෙම කරන එක හොඳයි කියනවා. පාලනාධිකාරිය වෙනත් දෙයක් කියනවා. මේ වෙලාවේ රජය ක්‍රීඩා ඇමතිතුමා ඇතුළු හැමෝම සහය දෙන වෙලාවක අපිට වගකීමක් තියනවා ක්‍රීඩාව උඩට අරන් යන්න.”

කුමාර් සංගක්කාර: “අපිට තියන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල පහසුකම් අපි දියුණු කරන්න ඕන. ඛෙත්තාරාමය ක්‍රීඩාංගණය ගත්තම ගෘහස්ථ ක්‍රීඩාගාරයක් නෑ. අපි ක්‍රීඩා කරන කාලයේ ඉඳන්ම සැලසුමක් තිබුණා. එතන තමයි ක්‍රිකට් ඇකඩමිය තියෙන්නේ. ජාතික කණ්ඩායම පුහුණුවෙන්නේ එතන. පල්ලේකැලේත් එහෙමයි. අඩුපාඩු ගොඩක් තියනවා.”

“මම හිතන්නේ මේ මුදල් යොදවන්න පුළුවන් ඒවට. ඒ ආයෝජනයෙන් අපිට විශාල දෙයක් මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් කරන්න පුළුවන්. ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලට වඩා පුහුණුවෙන ස්ථාන වැඩි කරන්න පුළුවන් නම් අපිට මේ ළමයින්ගේ දස්කම් දියුණු කරන්න පුළුවන්.” 

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යාංශයට හා ක්‍රිකට් ආයතනයට පවසා සිටියේ හිටපු ක්‍රීඩකයන් ඉදිරිපත් කළ යෝජනා සලකා බලා නිසි වැඩපිළිවෙළක් සකසන ලෙසයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<