චමරි සහ ප්‍රබෝධනී ICC ශ්‍රේණිගත කිරීමේ ඉහළට

184

ඊයේ (01) නිකුත් වූ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව කාන්තා ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 20 තුළ රැඳී සිටීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් වන උදේශිකා ප්‍රබෝධනී සහ චමරි අතපත්තු සමත්ව තිබෙනවා.

මෙරට කාන්තා ක්‍රිකට් පිටියේ වඩාත්ම කතාබහට ලක්වන ක්‍රීඩිකාව වන චමරි අතපත්තු නවතම වර්ගීකරණයට අනුව එක්දින හා විස්සයි විස්ස දෙඅංශයෙන්ම පළමු ක්‍රීඩිකාවන් 20 දෙනා අතරට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්.

නවතම වර්ගීකරණයට අනුව ඇය එක්දින පිතිකාරිනියන් වර්ගීකරණයේ 12 වැනි තැනත්, විස්සයි විස්ස වර්ගීකරණයේ 14 වැනි ස්ථානයෙත් පසුවන අතර තුන්ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ එක්දින 18 වැනි ස්ථානය සහ විස්සයි විස්ස පිටියේ 07 වැනි ස්ථානය හිමිකර ගනිමින් පළමු දසදෙනා අතරට පැමිණ තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

2020 වසරේ පැවති කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලානයෙන් පසු ක්‍රිකට් පිටියෙන් සමුගත් උදේශිකා ප්‍රබෝධනී වත්මන් වර්ගීකරණයට අනුව පන්දුවාර විස්ස පන්දු යවන්නන් අතර 16 වැනි තැන හිමිකරගෙන සිටිනවා.

නිමා වූ පන්දුවාර විස්ස ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගි වී නොමැති අතර ඔවුන් අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කර දින 450ක් ඉක්මවා තිබීම ද කැපී පෙනෙන කරුණක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<