“අපි තෝර ගත්තේ වැරදි පහරක් ද මන්දා” – Cumminsගේ සමාලෝචනය

Border - Gavaskar Trophy 2023

378

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන Border – Gavaskar කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් අත් කර ගැනීමට ඉන්දියාව ඊයේ (19) සමත් වුනා.

ඒ අනුව තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කරමින් තරග හතරකින් යුත් ටෙස්ට් තරගාවලිය පරාජය වීමේ අවදානමින් මිදීමට ද ඉන්දියාව ඊයේ සමත් වුනා.

කෙසේ වෙතත් ඊයේ දිනය (තරගයේ තුන්වැනි දිනය) ආරම්භ වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 61ක් ලබාගෙන සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියාව ඒ වන විට ඉන්දියාවට වඩා සමස්ත ලකුණු 62ක් ද ඉදිරියෙන් සිටියා.

නමුත් ඊයේ දිනය ආරම්භ වී මිනිත්තු 90 පමණ ගත වන විට ඕස්ට්‍රේලියානු පිලේ ඉතිරි කඩුලු 9ම තවත් ලකුණු 52ක් තුන බිඳ හෙළීමට ඉන්දීය දඟපන්දු යවන්නන් සමත් වුනා.

මෙහි දී ඉන්දීය දඟපන්දු යවන්නන්ට එරෙහිව Sweep පහර එල්ල කිරීමට තෝරා ගත් උපක්‍රමය තමන් වෙතට ම නැවත කැරකී ආ බව ඕස්ට්‍රේලියානු නායක Pat Cummins තරගයෙන් පසුව පැවසුවා.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සිය දෙවැනි ඉනිම පුරාවටම Sweep පහර එල්ල කිරීමට වැඩි වශයෙන් යොමු වෙන අයුරු මෙන්ම, එම පහර වැරදී ගොස් දැවී යන ආකාරය ද කැපී පෙනුණ කරුණක්.

මේ අතර දැවී ගිය ඕස්ට්‍රේලියානු කඩුලු 10න් 7ක් ලකුණු 42කට දවා ගනිමින් සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම ප්‍රදර්ශනය කිරීමට ඊයේ Ravindra Jadeja විසින් සමත් වුනා.

“කලකිරුණා, අපි තරගයේ ඉදිරියෙන් සිටියා නමුත් එක පාරටම දේවල් වෙනස් වුනා. හැමෝම තමන්ගේ තරගය පාලනය කළා. සමහර පන්දුවල ඔබේ නම ලියැවිලා තිබුණා. නමුත් මම හිතන්නේ සමාලෝචන කළ යුතු දේවල් තියෙනවා. විශේෂයෙන්ම පහර තෝරා ගැනීමේ දී අපි හරි තේරීම් කළා ද කියන එක,” තරගයෙන් අනතුරුව Cummins එසේ පවසා සිටියා.

මෙහි දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් හය දෙනෙකු Sweep පහර එල්ල කිරීමට ගොස් සිය කඩුල්ල ඉන්දීය දඟපන්දු යවන්නන් වෙත පූජා කළ අතර එහි දී Jadejaට මග හැරුණු ඉතිරි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් තිදෙනාව දවා ගැනීමට Ravichandran Ashwin සමත් වුනා.

“මම හිතන්නේ ඔවුන් ඉතාම හොඳින් පන්දු යැවුවා, එය එතරම් පහසු දෙයක් නෙවෙයි . නමුත් මම හිතන්නෙ සමහර අය (ඕස්ට්‍රේලියානු පිතුකරුවන්) තමන්ගේ ක්‍රමවලින් ඉවතට ගියා.

හැම පිතිකරුවෙක්ටම තමන්ගේ ම විදියක් තියෙනවා. මම හිතන්නේ සමහරුන්ට නොගැළපෙන පහරක් වුන Sweep පහර නිසා අපේ කිහිප දෙනෙක් ම දැවී ගියා.”

මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට ලකුණු 263ක් ලබා ගැනීමට සමත් වූ අතරම, ඉන්දියාව පළමු ඉනිම ලකුණු 262කට සීමා කරමින් එක ලකුණක ඉදිරියක් ද ලබා ගැනීමට සමත් වීමයි.

මේ අතර ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම වැනසූ Ravindra Jadeja විසින් පවසා තිබුණේ මෙවැනි විකට්ටුවක තමා වැන්නෙකුට එරෙහිව Sweep පහර එල්ල කිරීමට උත්සාහ කිරීම ඒ තරම් හොඳ උපක්‍රමයක් නොවන බවයි.

කෙසේ වෙතත් මේ වන විට තරගාවලියේ තරග දෙකක් අවසන් වී ඇති අතර, තෙවැනි සහ ඕස්ට්‍රේලියාව පැත්තෙන් වඩාත් තීරණාත්මක ම තරගය මාර්තු මස 1 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

එම තරගයත්, සිව්වැනි තරගයත් ජයග්‍රහණය කරමින් තවමත් තරගාවලිය සම මට්ටමින් අවසන් කර ගැනීමට ඕස්ට්‍රේලියානු නායකයා බලාපොරොත්තු වනවා.

“අපිට අත්දැකීම් සහිත ක්‍රීඩකයින් සිටිනවා. ඒ අතරෙන් කිහිප දෙනෙක් ම මේ හා සමාන තත්ව යටතේ පිතිකරණයේ යෙදිලත් තියෙනවා. ඔවුන් මගක් සොයා ගනීවී. ඒ නිසා අනිවාර්යයෙන් ම තවමත් තරගාවලිය සම කර ගැනීමට අවස්ථාව තියෙනවා.”

එමෙන්ම දෙවැනි තරගය අතරතුර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warnerගේ හිසේ පන්දුවක් වැදීමෙන් ආබාධයකට පත් වූ අතර, පසුව ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් (Matt Renshaw) තරගයට ආදේශ කෙරුණා.

තවමත් David Warner වේදනාවෙන් පසු වන බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්වය සලකා බලා ඉදිරි තරග වෙනුවෙන් තීරණයක් ගනු ඇති බවත් Cummins තරගයෙන් අනතුරුව පවසා තිබුණා.

Border – Gavaskar තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<