2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (26) පැවති තරග සඳහා සහභාගී වූ චාමර ධර්මවර්ධන සහ නිලූක කරුණාරත්න හට මෙවර ඔවුන්ගේ ඔලිම්පික් පදක්කම් සිහිනය අතහැරීමට සිදු වුනේ ඔවුන් සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වෙමින්. 

අද (26) පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වේ තම අවසන් කාණ්ඩ තරගය ලෙස නිලූක කරුණාරත්න අයර්ලන්ත ක්‍රීඩක Nhat Nguyen සමඟින් තරග වැදුණා. එහි දී තරග වට 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Nhat Nguyen විසින්. 

තරගයේ පළමු වටයේ මුල් අවධියේ දී ලකුණු 2-1ක්, 5-4ක් ලෙස කරට කර තරග වැදුණු නිලූක තරගයේ ලකුණු 15-11ක් ලෙස යම් පසුබෑමකට ලක්වුනා. නමුත් නැවත තරගයට අවතීර්ණ වූ නිලූක ලකුණු 15-14ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා. 

නමුත් පළමු වටයේ අවසානයේ දී ඔහුට රැස් කර ගත හැකි වූයේ තවත් ලකුණු 2ක් පමණි. පළමු තරග වටය ලකුණු 21-16ක් ලෙස ජයග්‍රහණය කිරීමට Nhat Nguyen සමත් වුනා. 

>> ඔලිම්පික් උළෙලේ තෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය <<

දෙවැනි වටයේ මුල් අවධියේ දී ලකුණු තත්වය 2-1ක්, 3-2ක් ලෙස පැවතුනත් Nguyen විසින් ලකුණු පරතරය 8ක් දක්වා වැඩි කර ගැනීමට සමත් වුනේ ලකුණු 13-5ක් ලෙසයි. එම ලකුණු පරතරය ක්‍රම ක්‍රමයෙන් වැඩි කර ගත් Nguyen, තරගයේ යම් අවස්ථාවක ලකුණු 17-8ක් ලෙස ප්‍රබල තත්වයක සිටියා. දෙවැනි වටය අවසන් වූයේ ලකුණු 21-14ක් ලෙස නිලූක කරුණාරත්න හට පරාජය උරුම කරමින්. 

තම පළමු කාණ්ඩ තරගය ලෙස නිලූක කරුණාරත්න තරග වැදුණේ ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවන චීන තායිපේ ක්‍රීඩක T. W. Wang සමඟින්. එහි දී තරග වට 2-0ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගත්තේ Wang විසිනුයි. 

වර්තමානයේ ශ්‍රී ලංකාවේ අංක 1 පිරිමි බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න මීට පෙර දෙවතාවක්ම (2012 සහ 2016) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සහභාගී වීමට වරම් හිමි කරගෙන තිබෙනවා. ඔහු විසින් ජාත්‍යන්තර තලයේ පදක්කම් 21ක් ජයග්‍රහණය කර ඇති එයට රන් පදක්කම් 10ක් ද ඇතුළත් වෙනවා. 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු විසින් වාර්තා කර ගනු ලැබූ ඉහළම ලෝක ශ්‍රේණිගත කිරීම ලෙස වාර්තා වන්නේ 2013 වසරේ දී නිලූක කරුණාරත්න ශ්‍රේණිගත කිරීම්වල හිමි කර ගත් 34 වැනි ස්ථානයයි. 

මෙරට බැඩ්මින්ටන් ජාතික ශූරතාවය 17 වරක් ජයග්‍රහණය කරමින් තම අණසක පැතිර වූ නිලූක කරුණාරත්නගේ ඉදිරි ක්‍රීඩා ජීවිතය සාර්ථක කරගනිමින් මව්බිමට කීර්තියක් ගෙන ඒමට හැකි වේවා’යි ThePapare.com අපි ප්‍රාර්ථනා කරනවා.  

මෙවර ඔලිම්පික් උළෙලේ ජූඩෝ පිරිමි කිලෝග්‍රෑම් 73 බර පන්තිය නියෝජනය කරන චාමර ධර්මවර්ධන අද (26) Djibouti රාජ්‍යයේ Aden-Alexandre Houssein සමඟින් තරග වැදුණේ අවසන් තිස් දෙදෙනාගේ වටයේ තරගයක් ලෙසයි. එහි දී අවාසනාවන්ත ලෙස Houssein හමුවේ චාමර ලකුණු 00-10ක් ලෙස පරාජයට පත්වුනා. 

තරගය ආරම්භ වී තත්පර 29ක් ගත වන විටත් ක්‍රීඩකයින් දෙදෙනාම ලකුණු නොලබා සම තත්වයේ සිටියත්, තරගයේ 29 වැනි තත්පරයේ දී Ippon අවස්ථාවක් සාර්ථක කරගනිමින් Houssein ලකුණු 0-10ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. (ජූඩෝ ක්‍රීඩාවේ දී Ippon අවස්ථාවක් හිමි වීම සම්පූර්ණ ලකුණක් රැස් කරගැනීමක් ලෙස සටහන් වේ.) 

කිලෝග්‍රෑම් 73 බර පන්තියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව චාමර ධර්මවර්ධන 307 වැනි ස්ථානයේ පසුවන අතර Aden-Alexandre Houssein හට 51 වැනි ස්ථානය හිමිව තිබෙනවා. 

2016 වසරේ පැවති ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලද චාමර ධර්මවර්ධන එහි දී අවසන් 16 දෙනාගේ වටය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුනා. 2016 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ජූඩෝ පිරිමි කිලෝග්‍රෑම් 73 බර පන්තියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ චාමර, 2019 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.  

මෙවර ඔලිම්පික් පදක්කම් සිහිනය බිඳ වැටුණ ද මෙරට ජාතික ශූරයා වන චාමර ධර්මවර්ධනගේ ඉදිරි ක්‍රීඩා ජීවිතය සාර්ථක වේවා’යි ThePapare.com අපි සුබ පතනවා. 

පිරිමි මීටර 100 නිදහස් ආර ඉසව්ව සඳහා සහභාගී වන ජාතික පිහිනුම් ශූරයෙකු වන මැතිව් අබේසිංහ හෙට (26) දිනයේ දී ඔලිම්පික් බිමේ තරග වැදීමට නියමිතව තිබෙන්නේ මෙරට වේලාවෙන් පස්වරු 3:39ටයි.  

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<