ඕල්කට් අනුස්මරණ ශූරතාවය ධර්මාශෝකයට

අනුශූරතාවය මලියදේවයට

539

ඩුබායි හි අජ්මාන් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති 10 වැනි ඕල්කට් අනුස්මරණ ශූරතා තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයෙන් කුරුණෑගල මලියදේව විදුහල් කණ්ඩායම පරාජය කරමිනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඕල්කට් අනුස්මරණ සංගමය ශ්‍රී ලංකාවේ ඕල්කොට් පාසල් අටක් සහභාගී කර ගනිමින් වාර්ෂිකව තරගාවලිය සංවිධානය කරනු ලබයි.

ලසිත් කෲස්පුල්ලේ ද්විත්ව ශතකයක් රැස් කරයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (8) දිනය තුල…

අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ධර්මාශෝක කණ්ඩායම නියමිත පන්දු වාර 5 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 97ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මලියදේව කණ්ඩායමට සිය පන්දු වාර 5 අවසානයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 43ක් පමණි. ඒ අනුව ලකුණු 54ක ජයක් වාර්තා කරමින් ඕල්කට් අනුස්මරණ ශූරතාවය තමන් සතු කර ගැනීමට ධර්මාශෝක කණ්ඩායමට හැකි විය.

පළමු අවසන් පූර්ව තරගයෙන් ධර්මරාජ විදුහල පරාජය කරමින් ධර්මාශෝක විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබීය. එහි දී පළමුව පන්දුවට පහර දුන් ධර්මාශෝක කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තේය. පිළිතුරු ලෙස සිය පන්දු වාර 5 අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ධර්මරාජ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 98ක් පමණි.

දෙවන අවසන් පූර්ව තරගය මලියදේව විදුහල හා නාලන්ද විදුහල අතර පැවැත්විය. පළමුව පන්දුවට පහර දුන් නාලන්ද කණ්ඩායම කඩුලු 4කට ලකුණු 65ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මලියදේව කණ්ඩායම සිව්වන පන්දු වාරයේ දීම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 67ක් ලබා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

තරගාවලියේ “පලිහ ශූරතාවය” වෙනුවෙන් මහනුවර ධර්මරාජ විදුහල් කණ්ඩායම හා කොළඹ නාලන්ද විදුහල් කණ්ඩායම තරග වැදුණු අතර, එහි ශූරතාවය දිනා ගැනීමට නාලන්ද කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ධර්මරාජ කණ්ඩායම පන්දු වාර 5 අවසානයේ දී ලකුණු 62ක් ලබා ගත්තේය.

එයට පිළිතුරු ලෙසින් නාලන්ද විදුහල පන්දු වාර 4ක් තුල ලකුණු 68ක් ලබාගෙන එම ශූරතාවය තමන් සතු කර ගත්තේ ධර්මරාජ කණ්ඩායමට එහි අනුශූරතාවය හිමි කර දෙමිනි.

කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම හා පන්නිපිටිය ධර්මපාල විදුහල් කණ්ඩායම පලඟ ශූරතාවය වෙනුවෙන් තරග කල අතර, ආනන්ද විදුහල එය තමන් සතුකර ගත්තේය. පළමුව පන්දුවට පහර දුන් ආනන්ද කණ්ඩායම පන්දු වාර 5 අවසානයේ දී ලකුණු 89ක් ලබා ගත්තේය. ධර්මපාල කණ්ඩායම ආනන්ද විදුහලට තියුණු තරගයක් ලබා දුන්න ද, ඔවුන්ට නියමිත පන්දු වාර 5 තුල දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 88ක් පමණි. ඒ අනුව එක් ලකුණක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලිය සඳහා ඕල්කට් පාසල් අට නියෝජනය කරමින් පහත කණ්ඩායම් සහභාගී වූහ.

කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට