‘ආසාදිතයින් අසාමාන්‍ය ලෙස වැඩි වුනොත් නිවැරදි තීරණ ගන්න පසුබට වෙන්නේ නැහැ’

Tokyo Olympic Games 2020

210

වසරකට අධික කාලයක් පුරාවට දින ගනිමින් මඟ බලා සිටි ක්‍රීඩාවේ අසිරිමත් මහා මංගල්‍යය වන 2020 Tokyo ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දිනයකටත් අඩු කාල සීමාවක්.

නමුත් මේ වන විට තරගාවලියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දැවැන්ත අර්බුද රාශියකට මුහුණ දීමට සිදුව ඇති බව තරගාවලි සංවිධායක කමිටුව ඊයේ (21) දිනයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කර තිබුණි.

ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර සිටින පරිදි මේ වන විටත් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බහුතරයක් ඔලිම්පික් ගම්මානය තුල නවාතැන් ගනිමින් තරගාවලිය සඳහා පෙර සූදානම් වන අතරවාරයේ COVID-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව ද ක්‍රමයෙන් ඉහළ යාමේ දැඩි අවදානමක් පැන නැඟී තිබේ.

දැනට වාර්තා වන දත්ත සහ සංඛ්‍යානයන්ට අනුව ක්‍රීඩා උළෙල හා සම්බන්ධ එසේ වයිරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 71 දක්වා ශීඝ්‍ර වැඩි වීමක් සිදුව ඇති අතර දකුණු අප්‍රිකානු කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සහ චෙක් ජනරජය නියෝජනය කරමින් බීච් වොලිබෝල් තරග සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ද එම නියැදියට ඇතුළත් නන බව සඳහන් වේ.

තවත් ක්‍රීඩා පුවත් :

මෙම උද්ගතව ඇති තත්වය එතරම් සුභදායී නොවන නිසාවෙන් යම් හෙයකින් අවසන් මොහොතේ දී හෝ ක්‍රීඩා උළෙල අවලංගු කර දැමීමේ අදහසක් පවතින්නේ දැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් 2020 Tokyo ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටු ප්‍රධානී Toshiro Muto මහතා අවධාරණය කොට සිටියේ දැනට එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ඔවුන් කිසිදු සාකච්ඡාවක් කර නොමැති බවයි.

“තරගාවලිය අවලංගු කරන්න දැනට අපේ කිසිම අදහසක් නැහැ. නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව අපි නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්නේ. යම් කිසි විදියකින් ආසාදිතයින් ගණනේ අසාමාන්‍ය වැඩි වීමක් දකින්න ලැබුණොත් අවස්ථාව අනුව නිවැරදි තීරණ ගන්න අපි පසුබට වෙන්නේ නැහැ.” 

Muto මහතා අදහස් දැක්වීමට ප්‍රථමයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා ද මේ සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කරමින් පවසා සිටියේ තරගාවලිය එක්වරම නවතා දැමීමට කටයුතු කිරීම පවතින ගැටලුවට ඇති එකම විසඳුම නොවන බවයි. 

කල්තියා සැලසුම් කළ පරිදි ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයන්ට ඇතුළු වීමේ අවසර ලබානොදීමට ගත් තීන්දුව එලෙසම බලාත්මක කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් කරුණු විග්‍රහ කරමින් ඒ මහතා සඳහන්කොට තිබුණි.

1896 වර්ෂයේ දී ආරම්භ වූ නූතන ඔලිම්පික් ඉතිහාසය තුල තරගාවලියක් යම් නොවැළැක්විය හේතුවක් නිසාවෙන් කල්දැමූ පළමු අවස්ථාව ලෙස 2020 Tokyo ඔලිම්පික් උළෙල ඉතිහාස පොත් අතරට එකතු වන්නේ පසුගිය වසර පුරාවට හිසරදයක් පැවති COVID-19 වසංගත තත්වයෙහි යම්කිසි හෝ අඩු වීමක් ගෙවුණු කාලසීමාව තුල දී දැක ගැනීමට නොහැකි වූ බැවිනි.

මෙවැනි අවදානම්සහගත වාතාවරණයක් පැවතිය දී තම රටවැසියන්ගේ ආරක්ෂාව ගැන නොතකමින් ඔලිම්පික් තරගාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජපන් ජාතිකයින් මේ වන විට සිය අප්‍රසාදය පළ කරමින් සිටින්නේ යම්තාක් දුරකට හෝ පාලනය කොට තිබූ ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට දෙගුණ තෙගුණ වීමට බලධාරීන් විසින් ගත් මෙම අදූරදර්ශී තීරණය හේතුපාදක වී ඇති බවට දෝෂාරෝපණය කරමිනි.

සත්කාරකත්වය උසුලන Tokyo නගරයෙන් මේ වන විට දෛනිකව ආසාදිතයන් 1300ක් පමණ හඳුනා ගැනෙන අතරවාරයේ අගෝස්තු 22 වැනිදා තෙක් එරට තුල හදිසි තත්වයක් ප්‍රකාශ කරමින් සංචරණ සීමාවන් පැනවීමට ජපන් රජය දැනටමත් පියවර ගෙන තිබේ. 

කෙසේ නමුත් ඔලිම්පික් සංවිධායකවරුන් පැවති මාධ්‍ය හමුව අවසානයේ පවසා සිටියේ තමන් ආරම්භ කළ මෙම ක්‍රියාන්විතය 100%ක් සාර්ථක කරගැනීම ඔවුන්ගේ ඒකායන අරමුණ වන බවයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<