එකම ඉසව්වෙන් ඔලිම්පික්, ආසියානු සහ ලෝක වාර්තා

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

1038

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (25) පැවති කාන්තා 4×100M නිදහස් ආර අවසන් තරගයේ දී නව ඔලිම්පික් වාර්තාවක් සමඟ නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට ඕස්ට්‍රේලියානු කාන්තා පිහිනුම් කණ්ඩායම සමත් වුනා. ඒ මිනිත්තු 3:29.69ක කාලයක් වාර්තා කරමින්. 

Bronte Campbell, Cate Campbell, Meg Harris, Emma McKeon, Mollie O’Callaghan සහ Madison Wilson යන ක්‍රීඩිකාවගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු කාන්තා කෙටිදුර පිහිනුම් කණ්ඩායම කාන්තා 4×100M නිදහස් ආර ඉසව්වේ මූලික වටය අවසානයේ සිටම පෙරමුණ ගැනීමට සමත්ව සිටියා. 

(කාන්තා 4 × 100 M නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම. වමේ සිට දකුණට Bronte Campbell, Meg Harris, Emma Mckeon සහ Cate Campbell)  ඡායාරූපය – olympics.com

මූලික වටයේ දී Mollie O’Callaghan (53.08), Meg Harris (52.73), Madison Wilson (53.10) සහ Bronte Campbell (52.82) තරග වැදුණා. අවසන් තරගයේ දී Bronte Campbell (53.01), Meg Harris (53.09), Emma McKeon (51.35) සහ Cate Campbell (52.24) විසින් මීට පෙර ඕස්ට්‍රේලියානුවන් සතුවම තිබූ ලෝක වාර්තාව මෙන්ම ඔලිම්පික් වාර්තාව ද බිඳ හෙළමින් ජයග්‍රහණය කළා.

කාන්තා 4×100M නිදහස් ආර ඉසව්වේ පෙර ඔලිම්පික් වාර්තාව වූ මිනිත්තු 3:30.65ක කාලය 2016 Rio ඔලිම්පික් උළෙලේ දී Emma McKeon (53.41), Brittany Elmslie (53.12), Bronte Campbell (52.15) සහ Cate Campbell (51.97) විසින් පිහිටුවා තිබුණා. 

පෙර ලෝක වාර්තාව වූයේ Shayna Jack (54.03), Bronte Campbell (52.03), Emma McKeon (52.99) සහ Cate Campbell (51.00) යන ක්‍රීඩිකාවන් විසින් පිහිටවූ මිනිත්තු 3:30.05ක කාලයයි. 

එම ඉසව්වේ රිදී පදක්කම මිනිත්තු 3:32.78ක කාලයකින් තරගය නිමා කළ කැනඩා (Kayla Sanchez, Margaret MacNeil, Rebecca Smith සහ Penny Oleksiak) කණ්ඩායමට හිමි වූ අතර ලෝකඩ පදක්කම මිනිත්තු 3:32.81ක කාලයකින් තරගය නිමා කළ ඇමරිකා එක්සත් ජනපද (Erika Brown, Abbey Weitzeil, Natalie Hinds සහ Simone Manuel) කණ්ඩායම විසින් දිනා ගත්තා. 

කාන්තා 4×100M නිදහස් ආර අවසන් තරගයේ දී මිනිත්තු 3:34.76ක කාලයක් වාර්තා කරමින් හත්වැනි ස්ථානය දිනා ගත් චීනයේ Cheng Yujie (54.10), Zhu Menghui (53.54), Ai Yanhan (54.22) සහ Wu Qingfeng (52.90) විසින් ආසියානු වාර්තාවක් බිඳ හෙළීමට සමත් වුනා. පෙර ආසියානු වාර්තාව වූයේ එම ක්‍රීඩිකාවන් සිව්දෙනා විසින් මූලික වටයේ දී දක්වන ලද මිනිත්තු 3:35.07ක දක්ෂතාවයයි. 

2012 වසරෙන් පසුව ටියුනීසියාව වෙනුවෙන් පළමු වරට ඔලිම්පික් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට පිරිමි මීටර් 400 නිදහස් ආර ඉසව්ව මිනිත්තු 3:43.36ක කාලයකින් නිමා කළ Ahmed Hafnaoui සමත් වුනා.

මූලික වටය අවසානයේ අවසන් තරග සඳහා තේරී පත්වූ අවසන් ක්‍රීඩකයා වූයේ ද 18 හැවිරිදි Ahmed Hafnaoui. එම ඉසව්වේ රිදී පදක්කම මිනිත්තු 3:43.52ක කාලයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාවේ Jack McLoughlin විසින් හිමි කරගන්නා විට මිනිත්තු 3:43.94කින් තරගය නිමා කළ ඇමරිකා එක්සත් ජනපදයේ Kieran Smith විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

(ටියුනීසියානු ජාතික Ahmed Hafnaoui පිරිමි පිරිමි මීටර 400 නිදහස් ආර ඉසව්ව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව) ඡායාරූපය – olympics.com

පිරිමි මීටර 400 කේවල medley ඉසව්වේ රන් පදක්කම සහ රිදී පදක්කම පිළිවෙළින් ඇමරිකා එක්සත් ජනපදයේ Chase Kalisz (මිනිත්තු 4:09.42) සහ Jay Litherland (මිනිත්තු 4:10.28) විසින් ජයග්‍රහණය කළා. එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වුනේ ඕස්ට්‍රේලියාවේ Brendon Smith (මිනිත්තු 4:10.38) හටයි. 

කාන්තා මීටර 400 කේවල medley ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනේ ජපානයේ Yui Ohashi (මිනිත්තු 4:32.08). රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම පිළිවෙළින් ඇමරිකා එක්සත් ජනපදයේ Emma Weyant (මිනිත්තු 4:32.76) සහ Hali Flickinger (මිනිත්තු 4:34.90) විසින් හිමි කරගත්තා. 

>> ඔලිම්පික් උළෙලේ දෙවැනි දිනයේ ඉසව් කිහිපයක ඡායාරූප ඇල්බමය <<

වෙඩි තැබීම (Shooting) 

ඉතා තියුණු මුහුණුවරක් ගත් කාන්තා 10M air pistol ඉසව්වේ අවසන් තරගයේ අවසන් වෙඩි තැබීමේ වටය ජයගෙන නව ඔලිම්පික් වාර්තාවක් (සමස්ත ලකුණු 240.3) සමඟ රන් පදක්කම තමන් සතුකර ගැනීමට රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරන Vitalina Batsarashkina සමත් වුනා. එම ඉසව්වේ රිදී පදක්කම බල්ගේරියානු ජාතික ක්‍රීඩිකා Antoaneta Kostadinova හට හිමි වුනා.

(වමේ සිට දකුණට කාන්තා 10 M air pistol ඉසව්වේ රිදී පදක්කම දිනූ Antoaneta Kostadinova සහ රන් පදක්කම දිනූ Vitalina Batsarashkina)  ඡායාරූපය – olympics.com

අවසන් තරගයේ පළමු වෙඩි තැබීමේ වටය දෙදෙනාම සම තත්වයෙන් (51.1) ආරම්භ කළ අතර දෙවැනි වටයේ දී Vitalina පෙරමුණ ගැනීමට සමත් වුනා. නමුත් තෙවැනි වෙඩි තැබීමේ වටයේ සිට අටවැනි වෙඩි තැබීමේ වටය දක්වා පෙරමුණ ගත් Antoaneta අවසන් වෙඩි තැබීමේ වටයෙන් පරාජයට පත්වන්නේ ලකුණු 0.9කින්. චීන ජාතික Jiang Ranxin විසින් ලෝකඩ පදක්කම හිමි කරගත්තා. 

කාන්තා 10M air pistol ඉසව්වේ සුදුසුකම් ලැබීමේ වටයේ දී පෙර සුදුසුකම් ලැබීමේ ලෝක වාර්තාව (ග්‍රීක ජාතික Anna Korakaki – ලකුණු 587) සම කිරීමට සහ නව සුදුසුකම් ලැබීමේ ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට චීන ජාතික Jiang Ranxin සමත් වුනා. 

පිරිමි 10M air rifle ඉසව්වේ නව ඔලිම්පික් වාර්තාවක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකානු එක්සත් ජනපදයේ William Shaner සමත් වුනේ අවසන් තරගයේ දී මුළු ලකුණු 251.6ක් රැස්කර ගැනීමට සමත් වෙමින්. රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම පිළිවෙළින් චීනයේ Lihao Sheng (මුළු ලකුණු 250.9) සහ Yang Haoran (මුළු ලකුණු 229.4) හට හිමි වුනා. 

බර එසවීම (Weightlifting) 

පිරිමි 61kg බර පන්තිය යටතේ තරග වැදුණු චීන ජාතික Li Fabin නව ඔලිම්පික් වාර්තා දෙකක් පිහිටුවමින් රන් පදක්කම ජයග්‍රහණය කළා. ඔහු විසින් Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 141ක් ඔසවා ඇති අතර Clean & Jerk ක්‍රමයට නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් කිලෝග්‍රෑම් 172ක් සාර්ථකව එසවීමට Li සමත් වුනා. ඒ අනුව ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 313 ද නව ඔලිම්පික් වාර්තාවක් ලෙස සටහන් වුනා.

(චීන ජාතික Li Fabin අවසන් තරගය අතරතුර) ඡායාරූපය – olympics.com

එම ඉසව්වේ Snatch ක්‍රමයේ ලෝක වාර්තාව (155 kg) සහ ඔසවන ලද මුළු බර ප්‍රමාණයේ ලෝක වාර්තාවට (318 kg) ද හිමිකම් කියන්නේ චීන ජාතික Li Fabin. 

පිරිමි 67kg බර පන්තිය යටතේ තරග වැදුණු චීන ජාතික Chen Lijun නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත්තා. Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 145ක් එසවූ Lijun, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 187ක් ඔසවමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. 

ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය වන කිලෝග්‍රෑම් 332 ද නව ඔලිම්පික් වාර්තාවක් ලෙස සටහන් වුනා. එම ඉසව්වේ රිදී පදක්කම කොලොම්බියාවේ Luis Javier Mosquera විසින් හිමිකර ගන්නා විට ඉතාලියේ Mirko Zanni ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

කිමිදුම් (Diving) 

කාන්තා synchronized 3 metre springboard ඉසව්වේ රන් පදක්කම චීනයේ Shi Tingmao සහ Wang Han සමත් වුනේ වට 5ක් අවසානයේ මුළු ලකුණු 326.40ක් හිමිකර ගනිමින්. එහි රිදී පදක්කම කැනඩාවේ Jennifer Abel සහ Melissa Citrini-Beaulieu විසින් දිනාගත්  අතර ජර්මනියේ Lena Hentschel සහ Tina Punzelහට ලෝකඩ පදක්කම හිමි වුනා. 

දුනු විදීම (Archery) 

කාන්තා කණ්ඩායම් දුනු විදීම ඉසව්වේ රන් පදක්කම දකුණු කොරියාව නියෝජනය කළ An San, Jang Min-hee සහ Kang Chae-young විසින් හිමි කරගත්තා. ඔවුන් තිදෙනා විසින් පසුගිය 23 වැනිදා පැවති ශ්‍රේණිගත කිරීමේ තරග වටයේ දී (216 arrow ranking round) නව ඔලිම්පික් වාර්තාවක් (සමස්ත ලකුණු 2032) පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්. 

එම ඉසව්වේ රිදී පදක්කම රුසියානු කණ්ඩායමට (Svetlana Gomboeva, Elena Osipova සහ Ksenia Perova) හිමි වූ අතර ලෝකඩ පදක්කම ජර්මානු කණ්ඩායමට (Michelle Kroppen, Charline Schwarz සහ Lisa Unruh) හිමි වුනා. 

ස්කේට්බෝඩිංග් (Skateboarding) 

මෙවර ඔලිම්පික් උළෙලේ දී නව ක්‍රීඩාවක් ලෙස හඳුන්වා දුන් Skateboarding ක්‍රීඩාවේ පළමු රන් පදක්කම ජයග්‍රහණය කිරීමට පිරිමි street ඉසව්වෙන් තරග කළ ජපානයේ Yuto Horigome සමත් වුනා. බ්‍රසීලයේ Kelvin Hoefler රිදී පදක්කම හිමි කරගන්නා විට ඇමරිකානු එක්සත් ජනපදයේ Jagger Eaton එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

බයිසිකල් ධාවනය (Cycling) 

කාන්තා Road cycling ඉසව්ව 

  1. රන් පදක්කම – Anna Kiesenhofer (ඔස්ට්‍රියාව) 
  2. රිදී පදක්කම – Annemiek van Vleuten (නෙදර්ලන්තය) 
  3. ලෝකඩ පදක්කම – Elisa Borghini (ඉතාලිය) 

ජූඩෝ (Judo) 

කාන්තා 52kg බර පන්තිය 

  1. රන් පදක්කම – Uta Abe (ජපානය) 
  2. රිදී පදක්කම – Amandine Buchard (ප්‍රංශය) 
  3. ලෝකඩ පදක්කම – Odette Giuffrida (ඉතාලිය) සහ Chelsie Giles (මහා බ්‍රිතාන්‍යය) 

පිරිමි 66 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Hifumi Abe (ජපානය) 
  2. රිදී පදක්කම – Vazha Margvelashvili (ජෝර්ජියාව) 
  3. ලෝකඩ පදක්කම – An Baul (දකුණු කොරියාව) සහ Daniel Cargnin (බ්‍රසීලය) 

කඩු හරඹ (Fencing) 

කාන්තා කේවල foil ඉසව්ව 

  1. රන් පදක්කම – Lee Kiefer (ඇමරිකා එක්සත් ජනපදය) 
  2. රිදී පදක්කම – Inna Deriglazova (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  3. ලෝකඩ පදක්කම – Larisa Korobeynikova (රුසියානු ඔලිම්පික් කමිටුව) 

පිරිමි කේවල épée ඉසව්ව 

  1. රන් පදක්කම – Romain Cannone (ප්‍රංශය) 
  2. රිදී පදක්කම – Gergely Siklósi (හංගේරියාව) 
  3. ලෝකඩ පදක්කම – Ihor Reizlin (යුක්රේනය) 

ටයිකොන්ඩෝ (Taekwondo) 

කාන්තා 57 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Anastasija Zolotic(ඇමරිකා එක්සත් ජනපදය) 
  2. රිදී පදක්කම – Tatiana Minina (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  3. ලෝකඩ පදක්කම – Lo Chia-ling (චීන තායිපේ) සහ Hatice Kübra İlgün (තුර්කිය) 

පිරිමි 68 kg බර පන්තිය 

  1. රන් පදක්කම –  Ulugbek Rashitov(උස්බෙකිස්ථානය) 
  2. රිදී පදක්කම –  Bradly Sinden (මහා බ්‍රිතාන්‍යය) 
  3. ලෝකඩ පදක්කම – Hakan Reçber (තුර්කිය) සහ Zhao Shuai (චීනය) 

මෙවර ඔලිම්පික් උළෙලේ දෙවැනි දිනය (25) අවසන් වන විට පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ප්‍රබල චීනය විසින් හිමි කරගෙන තිබෙන්නේ රන් පදක්කම් 6ක්, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමඟින්. 

දෙවැනි ස්ථානය රන් පදක්කම් 5ක් සහ එක් රිදී පදක්කමක් දිනාගෙන තිබෙන ජපානයට හිමිව තිබෙනවා. රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ජයග්‍රහණය කිරීමට සමත් වූ ඇමරිකා එක්සත් ජනපදයට හිමිව ඇත්තේ පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයයි. 

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තෙවැනි දිනය වන හෙට (26) දිනයේ දී ද පදක්කම් සඳහා වන අවසන් තරග 21ක් පැවැත්වීමට නියමිතයි.  

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<