Tendulkarගේ සුවිශේෂී වාර්තාවක් Kohliගේ නමටත්

1130

Sachin Tendulkar සහ Virat Kohli කෙටි කලක් ක්‍රිකට් පිටියේ එකට ක්‍රීඩා කර තිබෙන අතර Virat Kohli ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන විට Tendulkar ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසානයට ළඟා වෙමින් සිටියා.

සිය ක්‍රීඩා දිවිය ආරම්භ කිරීමෙන් පසු Kohli පිතිකරුවෙකුට ළඟා වීමට අසීරු කඩඉම් රැසක් පසු කළ අතර ඔහු Tendulkar විසින් පිහිට වූ සුවිශේෂී වාර්තා රැසක් ද බිඳ හෙළීමට සමත් වුනා.  

එලෙස වාර්තා බිඳ හෙළීමෙන් පසු ඔහු බදාදා ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගයේ දී Tendulkarගේ තවත් සුවිශේෂී වාර්තාවක් සම කිරීමට සූදානමින් පසු වෙනවා. 

ඉන්දීය කණ්ඩායමට එරෙහි කොදෙව් සංචිතය සඳහා හිටපු ක්‍රීඩක Shivnarine Chanderpaulගේ පුත් Tagenarine Chanderpaul ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර 2011 වසරේ දී  Kohli කොදෙව් සංචාරය තුළ Shivnarine Chanderpaulට එරෙහිව ක්‍රීඩා කළා.  

ඔහු Tagenarine Chanderpaulට එරෙහිව ද ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ සමඟින් Tendulkarට පසුව පියා සහ පුතු යන දෙදෙනාට එරෙහිව මව්බිමෙන් පිටත දී ටෙස්ට් තරග ක්‍රීඩා කළ දෙවැනි ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට ද Kohli හැකි වෙනවා. 

1992 වසරේ දී Geoff Marshට එරෙහිව සහ 2011/12 වසරේ ඔහුගේ පුත් Shaun Marshට එරෙහිව ක්‍රීඩා කරමින් Sachin Tendulkar මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබූ අතර 1992 වසරේ Sachin Tendulkar ඕස්ට්‍රේලියාවේ තරගයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව එය වෙද්දී, Geoffගේ ක්‍රීඩා දිවියේ අවසන් අදියර වුනා. 

2011/12 තරගාවලිය Shaun Marsh ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගාවලිය වූ අතර Sachin Tendulkar අවසන් වරට රටින් පිටත ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ අවසන් අවස්ථාව වීම ද විශේෂත්වයක්.  

2011 වසරේ ඉන්දීය කණ්ඩායම කොදෙව් දේශයේ සංචාරය කළ අවස්ථාව Shivnarine Chanderpaul ඉන්දියාවට එරෙහිව සිය මව් රටේ දී ක්‍රීඩා කළ අවසන් අවස්ථාව වූ අතර එය Virat Kohliගේ පළමු ටෙස්ට් තරගාවලිය ද වුනා. 

Tagenarine Chanderpaul මේ වන විට ටෙස්ට් තරග 7ක් කොදෙව් දේශය නියෝජනය කරමින් එක් ශතයක් සහ අර්ධ ශතකයක් සහිතව ලකුණු 453ක් ලබා ගැනීමට සමත්ව තිබෙන අතර ඔහු ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගාවලියේ දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළා.  

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.  

Hindustan Times ඇසුරිනි 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<