IPL නීති බින්ද Kohliට දඩ

IPL 2023

566
Virat Kohli fined

ඊයේ (17) Royal Challengers Bangalore සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවැත්වුණු තරගය අතරතුර IPL චර්යාධර්ම කඩ කිරීම හේතුවෙන් හිටපු RCB නායක Virat Kohli හට දඩ ගෙවීමට සිදු වී තිබෙනවා.

පිතිකරණ පාරාදීසයක් සේ සැලකෙන Bangalore හි M.Chinnaswamy ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ දී දෙපිළේ ම පිතිකරුවන් ඉහළ දක්ෂතා පෙන්වීමට සමත් වූ අතර, තියුණු තරගයකින් අනතුරුව ලකුණු 8ක ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට Chennai Super Kings සමත් වුනා.

නමුත් මෙම තරගය අතරතුර Virat Kohli විසින් IPL චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය යටතේ පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බව එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ Amit Sharma විසින් තරගයෙන් අනතුරුව දැනුම් දී තිබුණා. එමෙන්ම එම වරද සහ තමන්ට ලැබුණු දඬුවම Kohli විසින් පිළිගැනීම නිසා ඒ වෙනුවෙන් විදිමත් විභාගයක් සිදු කිරීමට අවශ්‍ය වී තිබුණේ නැහැ.

ඒ අනුව දඬුවම ලෙස Virat Kohli හට ඔහුගේ තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම වී තිබෙනවා. නමුත් ඔහුට එල්ල වුනු චෝදනාව කුමක් ද යන්න පිළිබඳ කිසිදු විස්තරයක් දැන ගැනීමට ලැබී නැහැ. කෙසේ වෙතත් බොහෝ විට එය Chennai ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී Shivam Dubeගේ කඩුල්ල දැවී යාමෙන් පසුව Kohli විසින් දැක්වූ ආවේගශීලී ප්‍රතික්‍රියාව බව වන්නට ඇති බවයි ඉන්දීය මාධ්‍ය අනුමාන කරන්නේ.

Dube විසින් ඊයේ දිනයේ Chennai පන්දු යවන්නන්ව අන්ත අසරණ කර දමමින් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, Wayne Parnell විසින් යොමු කළ තරගයේ 17 වැනි පන්දුවාරයේ දී Dube විසින් ඉහළට යොමු කළ පහරක් හයේ සීමාවට සමීප වීමට ඉඩ නොදී රැක ගැනීමට Mohommed Siraj විසින් සමත් වුනා.

එම උඩපන්දුව රැක ගැනීමත් සමඟින් Kohli විසින් කෑ ගසමින් Siraj වෙත දිව ගිය අතර, යම් වචන කිහිපයක් ද ඔහුගේ මුවින් පිටවනු දකින්නට ලැබුණා.

මෙතෙක් තරගාවලිය පුරාවට ම පිත්තෙන් සාර්ථක වූ Kohliට ඊයේ දිනය එතරම් ම සුබදායී නොවූ අතර ඔහු ඊයේ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 6ක් පමණයි.

Chennai Super Kings විසින් ලබා දුන් ලකුණු 227ක දැවැන්ත ඉලක්කය හඹා යාමේ දී Bangaloreය දුර්වල ආරම්භයක් ලබා ගත්ත ද Maxwell සහ Du Plessis විසින් තරගය කරට කර සටනක් බවට පත් කරවීමට පසුව සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහණය Chennai වෙත ලබා දීමට මතීෂ පතිරණ විසින් යැවූ අවසන් පන්දුවාර දෙකට හැකියාව ලැබුණා.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<