කසුන් හා සහන් ශතකයකින් දිනය අරඹයි

389
Singer U19 schools cricket

සිංගර් කුසාලනය උදෙසා තරග වදින වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (2) තරග කිහිපයක්ම ආරම්භ විය. ආරම්භක දිනය තුලම කැපීපෙනෙන දස්කම් දැක්වීමට කසුන් සඳරුවන් හා සහන් සුරවීර සමත් වූයේ ශතකය බැඟින් ලකුණු පුවරුවට එක් කරමිනි.

තර්ස්ටන් විද්‍යාලයට ඉණිමක ජයක්

තර්ස්ටන් විද්‍යාලයට ඉණිමක හා ලකුණු 62ක ජයග්‍රහණයක් හිමිවෙමින් සිංගර් අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අදින් (1) අවසන් විය..

කොළඹ ආනන්ද විද්‍යාලයට එදිරිව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී කාසියේ වාසිය තමන් සතුකරගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර, පළමු දිනය තුල කොළඹ ආනන්ද විද්‍යාලය දැඩි අභියෝගයක් ප්‍රතිවාදී ත්‍රිත්ව විද්‍යාලය වෙත එල්ල කරන ලදි.

ආනන්ද විද්‍යාලයේ පළමු ඉණිම සම්පූර්ණයෙන්ම කරට ගත් සහන් සුරවීර තම විද්‍යාලයට දැවැන්ත ලකුණක් දක්වා යාමට අවශ්‍ය මූලික පසුබිම සකස් කල අතර ඔහුගේ ඉණිමට දර්ශනීය පහර කිහිපයක්ම අන්තර්ගත විය. එමෙන්ම කවිශ්ක අංජුල, සහන් සමඟින් එක්ව සාර්ථක සබඳතාවයක් ගොඩනැංවිය. පන්දු යැවීමේ දී ට්‍රිවෝන් පර්සිවල් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් දවාලන ලදී.

අනතුරුව තම පළමු ඉණිමට පිටියට පැමිණි ත්‍රිත්ව පිතිකරුවන්, චාමික ගුණසේකරගේ හා අසේල සිගේරාගේ පන්දු යැවීම හමුවේ අසාර්ථක විය.

කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 333 dec (පන්දුවාර 60): සහන් සුරවීර 121, කවිශ්ක අංජුල 78, දුශාන් හෙට්ටිගේ 44, කමේෂ් නිර්මාල් 32, සුපුන් වරාගොඩ 31*, ට්‍රිවෝන් පර්සිවල් 4/83

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 5ක් දැවී ලකුණු 61 (පන්දුවාර 27): ශැනොගීත් ශන්මුගනාතන් 26, චාමික ගුණසේකර 2/09, අසේල සිගේරා 2/11

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ආනන්ද විද්‍යාලයේ  පළමු ඉණිමට වඩා තවත් ලකුණු 272ක් පසුපසින් පසුවෙයි


මහනුවර ධර්මරාජ විද්‍යාලයට එදිරිව කොළඹ නාලන්ද විද්‍යාලය

නාලන්ද විද්‍යාලය කාසියේ වාසිය තමන් සතුකරගෙන පළමුව ධර්මරාජ තණතීරුවේ පන්දුවට පහරදීමට තීරණය කල අතර, ඔවුන්ගේ පළමු ඉණිම වෙනුවෙන් දැවැන්ත ශතකයක් ලබා ගැනීමට කසුන් සඳරුවන් සමත් වූයේ මනරම් පහර කිහිපයක්ම එල්ල කරමිනි.

ලකුණු 387කට නාලන්ද විද්‍යාලය තම පළමු ඉණිමට තිත තබන්නේ කසුන්ගේ මෙන්ම තවත් දක්ෂ පිතිකරණයක් දියත් කල ලක්ෂිත රසාංජනගේ පිත්තේ සවිය මගිනි. ගිහාන් විතාරණ කඩුලු 4ක් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර  තම විද්‍යාලයේ පළමු ඉණිමට ලකුණු 28ක් ද ලබාගෙන ධර්මරාජ විද්‍යාලයට අනගි සහයක් ලබාදෙන ලදි.

කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 387 dec (පන්දුවාර 74.4): කසුන් සඳරුවන් 127, ලක්ෂිත රසාංජන 88, කලණ පතිරආරච්චි 52, සුහඟ විජේවර්ධන 40, ගිහාන් විතාරණ 4/117

මහනුවර ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 67 (පන්දුවාර 18): ගිහාන් විතාරණ 28

මහනුවර ධර්මරාජ විද්‍යාලය නාලන්ද විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 320ක් පසුපසින් පසුවෙයි


කැළණිය ගුරුකුල විද්‍යාලයට එදිරිව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

අර්ධ ශතක දෙකක්ම පළමු දිනය තුල වාර්තා වූ මෙම තරගයේ කාසියේ වාසිය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට හිමිවිය. අනතුරුව තම පළමු ඉණිමට කදිරාන පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු 56ක් ලබාගෙන තම විද්‍යාලයේ ලකුණු පුවරුවට සවිමත් අඩිතාලමක් දැමීමට මාධව සත්සර සමත් වූයේ ගුරුකුල පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි. එහිදී පෘථිවි රූසර කඩුලු 3ක් දවාලමින් දස්කම් දැක්විය.

කැළණිය ගුරුකුල විද්‍යාලයේ පළමු ඉණිමට දිනය අවසානයේ සුභවාදී ලකුණක් එක් කිරීමට ගුරුකුල පිතිකරුවන් සමත් වූයේ අශින්ත මල්ශාන් හා උදාර රවිදුගේ නොදැවුනු සබඳතාවයද විශාල පිටුවහලක් කරගෙනයි. අරෝශ් මදුෂාන් කඩුලු 2ක් පළමු දිනය තුල තමන් සතුකරගත්තේය. දිනය අවසානයේ නොදැවී කඩුල්ලේ රැදීසිටින මල්ශාන් ලකුණු 59*ක් හා රවිදු නොදැවී ලකුණු 44*ක් ලබාගෙන සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් සිටියි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 196 (පන්දුවාර 57.3): මාධව සත්සර 56, හචිත නිර්මාල් 39, අරෝශ් මදුෂාන් 33, පෘථිවි රූසර 3/50, පැතුම් මහේෂ් 2/16

කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේදී) – කඩුලු 4ක් දැවී ලකුණු 175 (පන්දුවාර 36): අශින්ත මල්ශාන් 59*, උදාර රවිදු 44*, පෘථිවි නිම්සර 38, අරෝශ් මදුෂාන් 2/13

ගුරුකුල විද්‍යාලය බණ්ඩාරනායක විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 21ක් පසුපසින් පසුවෙයි


කොළඹ සහිරා විද්‍යාලයට එදිරිව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය

බ්ලුම්ෆීල්ඩ් පිටියේ ස්වභාවය හොඳින් අවබෝධ කරගත් ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පන්දු හමුවේ කාසියේ වාසිය ද සමඟින් පිටියට පිවිසි සහිරා විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් සෑහීමකට පත්විය හැකි ලකුණක් දක්වා තම ඉණිම ඔසවන්නට සහිරා පිතිකරුවන්ට අවස්ථාවක් නොලැබිණි.

දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 106ක් ලබා ගැනීමට ඩී.එස්. සේනානායක විද්‍යාලය සමත් වූ අතර, සහිරා විද්‍යාලයේ පළමු ඉණිම මෙන්ම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පළමු ඉණිමද සෑහීමකට පත්විය හැකි මට්ටමේ ලකුණු පුවරුවක් දක්වා වර්ධනය නොවූයේ, එම තණතීරුවේ වැඩි වාසිය පන්දු යවන්නන් සතුව ඇති නිසාවෙනි. දිනය අවසානයේ නොදැවී කඩුල්ලේ රැදීසිටින ශෙසාඩ් අමීන් ලකුණු 38*යි..

කොළඹ සහිරා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 46.4): සජිත් සමීර 24, ඩිල්ශාන් රමීස් 23, තත්සර බණ්ඩාර 3/15, ගීතාංජන ඩැනියල් 2/15

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 7ක් දැවී ලකුණු 106 (පන්දුවාර 41.3): ශෙසාඩ් අමීන් 38*, ගිහාන් ගුණසේකර 30

ඩී.එස්. සේනානායක විද්‍යාලය සහිරා විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 21ක් පසුපසින් පසුවෙයි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<