Tyson සහ Jake බොක්සිං ගැටුමේ උණුසුම වැඩි වෙයි!

Mike Tyson vs Jake Paul 2024

95
Mike Tyson vs Jake Paul 2024

ලොව මෙතෙක් බිහි වූ බිහිසුණු ම බොක්සිං ශූරයකු ලෙස සැලසෙන Mike Tyson එළඹෙන ජුලි මාසයේ දී වත්මනේ අතිශය ජනප්‍රිය බොක්සිං ක්‍රීඩකයකු වන Jake Paul සමඟ සටනකට සූදානම් වීම මේ දින වල ලොව පුරා වැඩි වශයෙන් කතාබහට ලක් වන සිදුවීමක් බවට පත් වී තිබෙනවා.

1966 වර්ෂයේ දී උපත ලද Tyson මේ වන විට 58 හැවිරිදි වියේ පසු වන අතර, ඔහු සිය වෘත්තීය බොක්සිං දිවියට සමු දුන්නේ මීට වසර 19කට පෙර එනම් 2005 වසරේ දීයි. කෙසේ වෙතත් මෙවර ඔහුගේ ප්‍රතිවාදියා වන Jake Paul තවමත් 27 හැවිරිදි වියේ පසු වන අතර, මොවුන් දෙදෙනාගේ වයස පරතරය පවා දශක තිහකට අධික වීම මෙහි දී විශේෂ අවධානය ලබා තිබෙනවා.

ප්‍රසිද්ධ WWE සටන් කරුවකු වන Logan Paulගේ බාල සොහොයුරා වන Jake අතිශය ප්‍රසිද්ධ Youtube තරුවක් ද වන අතර, එම ප්‍රසිද්ධියේ ද සහය සමඟින් ඔහු පසුව වෘත්තීය බොක්සිං දිවියට ද ඇතුළු වුනා. මේ වන විට Jake විසින් බොක්සිං තරග 10කට සහභාගී වෙමින් ඉන් තරග නවයක් (Knock-Out ජයග්‍රහණ 6ක් ද සමඟින්) ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, මීට පෙර ඔහු විසින් සහභාගී වූ බොක්සිං තරග සඳහා ද ලොව සිව් දෙසින් ම විශේෂ අවධානයක් යොමු වුනා.

කෙසේ වෙතත් Jakeගේ මෙම බොක්සිං දත්ත Tyson සමඟ පෑහීමට හෝ ප්‍රමාණවත් නොවන බව නම් නොරහසක්. Mike Tyson 1985 සිට 2005 යන දශක තුනක කාල සීමාව තුළ තරග 58ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 50ක් (Knock-Out ජයග්‍රහණ 44ක් ද සමඟින්) ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, තරග දෙකක් විසඳුමක් රහිතව අවසන් වී තිබෙනවා.

වෘත්තීය බොක්සිං දිවියට සමු දීමෙන් පසුව Tyson වරින් වර ප්‍රදර්ශනාත්මක බොක්සිං තරග සඳහා බොක්සිං වලල්ලට පිවිසුණු අතර එළඹෙන ජුලි මස 20 වැනි දා නැවතත් Jake Paul සමඟ සටනට ඔහු වලල්ල තුළට පිවිසෙනු ඇති.

එමෙන්ම මෙම තරගය Netflix ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට ද නියමිතයි.

මෙම සටන පිළිබඳ නිල නිවේදනය මීට දින කිහිපයකට පෙර නිකුත් වුනත්, මෙම යුගලය අතර සටනක් පැවැත්වීමට වාතාවරණය නිර්මාණය වීම නම් මීට වසර කිහිපයකට පෙර සිටම සිදු වූවක්.

“ඔහුගේ පහරවල් සැතපුමක් විතර දුර තියා දැක ගන්න පුළුවන්. මට දැන් 55ක්, ඒත් මටත් ඒ පහරවල් සැතපුමක දුරේ දී දකින්න පුළුවන්. මම මේ දෙන්නට ම (Jake සහ  Logan) ගහනවා. මම ඔවුන් වෙත කෙළින්ම යනවා, එතන බොක්සිං නම් තියෙන එකක් නැහැ. මම කරන්න ඕන එකම දේ හොඳ ශරීර හැඩයකින් සිටීම විතරයි.

දවසක් 30ක් නොකඩවා පුහුණු වීමෙන් මට ඕනෑම කෙනෙක් සමඟ සටන් කරන්න පුළුවන්.”

මීට වසර දෙකකට පමණ පෙර Tyson විසින් මෙසේ Paul සහෝදරයින් ඉලක්ක කරමින් වචන හරඹයක යෙදුණා.

එමෙන්ම මෙම තරගය නිවේදනය කිරීමෙන් පසුව මේ වන විට Tyson නැවතත් සිය පුහුණු වීම් ආරම්භ කර ඇති අතර, මෙම ප්‍රතිවාදීන් යුගලය සම්බන්ධ නොයෙකුත් වීඩියෝ පට ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රතිචාර ලබමින් ප්‍රචාරය වෙමින් පවතිනවා.

මේ අතර බොක්සිං සමඟ දැඩිව බැඳී පවතින Trash Talks ද මේ වන විට ආරම්භ වී තිබීම විශේෂත්වයක්.

” ඔහු වසර ගණනක් පුරා බොක්සිං ක්‍රීඩකයකු ලෙස සැලකිය යුතු වර්ධනයක් ලබා තිබෙනවා. ඒ නිසා “කුඩා දරුවකු” සතු බලාපොරොත්තුවලට, විශිෂ්ටතමයකුගේ (GOAT) අත්දැකීම් සමඟ කල හැකි කුමක් දැයි බලා සිටීම විනෝද ජනක වේවි. මම ඔහුව විනාශ කර දමන්න සැලසුම් කරමිනුයි ඉන්නේ.”

තමන් සමඟ සැසඳීමේ දී Jake Paul යනු කුඩා දරුවකු තරම් බවයි Tyson සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම තරගය නිවේදනය කර තවමත් ගත වී ඇත්තේ දින කිහිපයක් පමණක් නිසා මෙම වචන හරඹයන් හි උච්චතම අවස්ථාවට මෙතෙක් ක්‍රීඩකයින් ළඟ වී නොමැති බව වටහා ගත හැකි. මේ නිසා ඉදිරියේ දී තවත් බොහෝ පුවත් මෙම සටන ආශ්‍රිතව නිර්මාණය වනු ඇති බවත් විශ්වාස කළ හැකි.

එම උණුසුම් පුවත් ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Mirror සහ ESPN ඇසුරෙනි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<