Al Aqsa, සාන්ත හෙන්රි, සාන්ත පැට්‍රික් සහ මුස්ලිම් විද්‍යාල ජයග්‍රහණ අතරට

ThePapare පාපන්දු ශූරතාවය 2022

577

පාසල් පාපන්දු පිටිය උණුසුම් කරමින් මේ දිනවල පැවැත්වෙන ThePapare පාපන්දු ශූරතාවයේ තවත් තරග කිහිපයක් සිකුරාදා (30) සහ සෙනසුරාදා (01) පැවැත්වුනා.

එම තරගවලින් කින්නියා Al Aqsa විද්‍යාලය, යාපනය සාන්ත හෙන්රි විද්‍යාලය, කළුතර මුස්ලිම් විද්‍යාලය සහ යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය ජයග්‍රහණ ලබද්දී, ඔවුන් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත විද්‍යාලය අතර තරග සමව අවසන් වුනා.

ඔක්තෝබර් 30 (සිකුරාදා)

සාන්ත බෙනඩික්ට් සහ Al Aqsa විද්‍යාල අතර තරගය

Al Aqsa විද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවති මෙම තරගයේ පළමු අර්ධය තුළ ගෝලයක් ලබා ගනිමින් පෙරමුණ ගැනීමට සත්කාරකයන්ට හැකි වුනේ මොහොමඩ් ශකීල් 42 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලය සමඟිනුයි.

පළමු අර්ධය තුළ ගෝල ලබා ගැනීමට සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින්ට නොහැකි වූවත් දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 15ක් ගත වෙද්දී ගෝලයක් ලබා ගනිමින් ගෝල තත්වය සම කිරීමට බෙනඩික්ට් ක්‍රීඩක බාසුරු චලහසට හැකි වුනා.

නමුත් එම ගෝලයෙන් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ Al Aqsa ක්‍රීඩක මොහොමඩ් අෆ්නාස් තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ 77 වැනි මිනිත්තුවේ දීයි.

අවසන් ලකුණු තත්වය: Al Aqsa 2 – 1 සාන්ත බෙනඩික්ට්

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්

  • Al Aqsa – මොහොමඩ් ශකීල් 42’, මොහොමඩ් අෆ්නාස් 77’
  • සාන්ත බෙනඩික්ට් – බාසුරු චලහස 60’

සාන්ත පීතර විද්‍යාලය සහ ධර්මදූත විද්‍යාලය

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙසයි.

තරගය ආරම්භයේ ම සිය කණ්ඩායමට අවශ්‍ය පෙරමුණ ලබා දුන් සාන්ත පීතර ක්‍රීඩක ගයාන් රිවාල්ඩෝ සිව්වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කළා.

එම ගෝලය ලබා ගැනීමෙන් මිනිත්තු 10ක් යෑමට මත්තෙන් ක්‍රියාත්මක වූ ධර්මදූත විද්‍යාලයේ සිෆන් කලීල් තවත් ගෝලයක් වාර්තා කරමින් ගෝල තත්වය සම කළා.

එම ගෝලවලින් පසුව තවත් ගෝල කිහිපයක් වාර්තා කිරීමේ අවස්ථාව දෙපිලමට හිමි වූ නමුත් ඒවා සාර්ථකව අවසන් කිරීමට නොහැකි වීම නිසා තරගය සමව අවසන් වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 1 – 1 ධර්මදූත විද්‍යාලය

  • සාන්ත පීතර – ගයාන් රිවාල්ඩෝ 4’
  • ධර්මදූත – සිෆාන් කලීල් 13’

සාන්ත හෙන්රි විද්‍යාලය සහ ගම්පොළ සහිරා විද්‍යාලය

සාන්ත හෙන්රි විද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවති මෙම තරගය ගෝල 4-1ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලිය ආරම්භ කිරීමට සාන්ත හෙන්රි ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගය ආරම්භ වී මිනිත්තු 25ක් ගත වෙද්දී සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සාන්ත හෙන්රි ක්‍රීඩක Sutharkar Renoldkilaiman සමත් වුනා.

එම ගෝලයෙන් පසුව පළමු අර්ධය තුළ කිසිදු ගෝලයක් ලබා ගැනීමට අනෙක් ක්‍රීඩකයින්ට නොහැකි වීම නිසා පළමු අර්ධය අවසන් වුනේ ගෝල 1-0ක් ලෙස සාන්ත හෙන්රි ක්‍රීඩකයින්ට පෙරමුණ ලබා දෙමිනුයි.

දෙවැනි අර්ධය තුළ දී සිය ආධිපත්‍ය පැතිර වූ සාන්ත හෙන්රි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ එම්. ජතුසන් තවත් ගෝල ද්විත්වයක් ලකුණු පුවරුවට එක් කළේ 52 වැනි සහ 82 වැනි මිනිත්තුවල දීයි.

ගම්පොළ සහිරා ක්‍රීඩකයින්ට යම් අස්වැසිල්ලක් ලබා දෙමින් 85 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට එම්. මිහිරාන්ට හැකි වූවත්, එයින් සුළු වේලාවකට පසුව සාන්ත හෙන්රි විද්‍යාලය වෙනුවෙන් සිව්වැනි ගෝලය එස්. කනිජුඩ් විසින් රැස් කළා.

අවසන් ලකුණු තත්වය: සාන්ත හෙන්රි 4 – 1 ගම්පොළ සහිරා

  • සාන්ත හෙන්රි – Sutharkar Renoldkilaiman 25’, එම්. ජතුසන් 52’ & 82’, එස්. කනිජුඩ් 86’
  • ගම්පොළ සහිරා – එම්. මිහිරාන් 85’

ඔක්තෝබර් 01 (සෙනසුරාදා)

කළුතර මුස්ලිම් විද්‍යාලය සහ බදූරියා විද්‍යාලය

වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 5-1ක ජයක් හිමි වුනේ කළුතර මුස්ලිම් විද්‍යාලයටයි.

තරග ආරම්භයේ සිටම සිය ආධිපත්‍ය පැතිර වූ කළුතර මුස්ලිම් විද්‍යාල ක්‍රීඩකයින් පළමු අර්ධය තුළ දී ගෝල 3ක් වාර්තා කළා.

31 වැනි මිනිත්තුවේ දී මුස්ලිම් විද්‍යාලය වෙනුවෙන් පළමු ගෝලය මොහොමඩ් අමර් විසින් වාර්තා කරද්දී, 36 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කළේ මොහොමඩ් ශිරාෆ් විසිනුයි.

එම අර්ධයේ වාර්තා වූ තෙවැනි ගෝලය 43 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් වුනේ මොහොමඩ් වසීම් විසිනුයි.

දෙවැනි අර්ධය ආරම්භ වී කෙටි වේලාවකට පසුව සිව්වැනි ගෝලය වාර්තා කිරීමට මොහොමඩ් ෆර්හාඩ්ට හැකි වුනා. ඒ 52 වැනි මිනිත්තුවේ දීයි.

බදූරියා වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය වාර්තා කිරීමට මොහොමඩ් හාජිල්ට හැකි වෙද්දී, මුස්ලිම් විද්‍යාලය වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කිරීමට මොහොමඩ් අමර්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : කළුතර මුස්ලිම් විද්‍යාලය 5 – 1 බදූරියා විද්‍යාලය

ගෝල රැස්කළ ක්‍රීඩකයින්,

  • මුස්ලිම් විද්‍යාලය – මොහොමඩ් අමර් 31’ & 70’, මොහොමඩ් ශිරාෆ් 36’, මොහොමඩ් වසීම් 43’, මොහොමඩ් ෆර්හාඩ් 52’
  • බදූරියා – මොහොමඩ් හාජීල් 53’

සාන්ත පැට්‍රික් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 9-0ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින්ට හැකි වුනා.

සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් වෙනුවෙන් ගෝල ලබා ගැනීම ආරම්භ කරමින් වී. රෝහිත් 08 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා කළ අතර 17 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඒ. ජේ. ජෙරොම් විසින් දෙවැනි ගෝලය වාර්තා කළා.

තරගය ආරම්භ වී මිනිත්තු 26ක් ගෙවී යද්දී ක්‍රියාත්මක වූ සාන්ත පැට්‍රික් ක්‍රීඩක සී. බී. ක්‍රිශාන්තන් තෙවැනි ගෝලය වාර්තා කරමින් තරගයේ ආධිපත්‍ය සිය කණ්ඩායමට ගෙන ආවා.

සිය කණ්ඩායම වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ ජෙරොම් පළමු අර්ධය අවසානයේ තවත් ගෝල දෙකක් වාර්තා කළා. ඒ 39 වැනි සහ 45 වැනි මිනිත්තුවේ දීයි.

එම අර්ධය තුළ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට තර්ස්ටන් විද්‍යාලයට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

පළමු අර්ධයේ ලබා ගත් රිද්මය දෙවැනි අර්ධය ආරම්භයේ ම නැවත රඳවා ගත් සාන්ත පැට්‍රික් විද්‍යාලය වෙනුවෙන් හය වැනි ගෝලය වාර්තා කිරීමට ඒ. ලියෝ සමත් වුනේ 49 වැනි මිනිත්තුවේ දීයි.

දෙවැනි අර්ධයේ අවසන් භාගය තමන්ගේ කර ගත් සාන්ත පැට්‍රික් ක්‍රීඩක ජෙරොම් තවත් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුනේ තර්ස්ටන් ක්‍රීඩකයින් පිටියේ තවත් අසරණ කරමිනුයි. 80, 82 සහ 90 වැනි මිනිත්තුවල දී එම ගෝල වාර්තා කිරීමට ඔහුට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත පැට්‍රික් විද්‍යාලය 9 – 0 තර්ස්ටන් විද්‍යාලය

  • සාන්ත පැට්‍රික් – වී. රෝහිත් 8’, ඒ. ජේ. ජෙරොම් (17’, 39’, 45’, 80’, 82’ & 90’), සී. බී. ක්‍රිශාන්තන් (26’), ඒ. ලියෝ (49’)

ThePapare පාපන්දු ශූරතාවයේ මූලික වටයේ තරග කිහිපයක් සජීවීව විකාශය කිරීමට සහ තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<