මාලිංග ඇතුළු ප්‍රවීණයින්ට 2021 T20 ලෝක කුසලානය මගහැරෙයි ද?

699

මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් වසරක කාලයකින් කල් යාමත් සමඟ සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හටම ඊට සහභාගී වීමට තිබූ අවස්ථාව අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත. 

ලසිත් මාලිංග

ලසිත් මාලිංග

කඩුලු 107ක් සමඟින් ජාත්‍යන්තර පන්දුවාර 20 තරගවල වැඩිම කඩුලු ලාභියා ලෙස සිය නාමය ස්ථාපිත කරගෙන සිටින මාලිංග මීට පෙර නිවේදනය කර තිබුණේ ඔහු 2020 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවයි. 

කෙසේ නමුත් එය කල් යාමත් සමඟ ඉන් අදහස් වන්නේ ඔහු එළඹෙන වසරේ තරගාවලියට ක්‍රීඩා කිරීම දක්වා රැඳී සිටිනු ඇති බව ද යන්න ගැටලුවකි. එම තරගාවලිය වන විට ඔහුගේ වයස අවුරුදු 38ක් වනු ඇති නමුත් පසුගිය 2019 වසර තුළ මාලිංග ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ බව අමතක නොකළ යුතුය. 

එහි දී Mumbai Indians කණ්ඩායමට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කරදීමට විශාල කාර්යභාරයක් ඉටු කළ ඔහු අනතුරුව සැප්තැම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහිව අඛණ්ඩව පන්දු 4ක දී කඩුලු 4ක් ද දවාගන්නට සමත් විය.

සමස්තයක් ලෙස ගත්කල ලබන වසරේ පන්දුවාර 20 තරගාවලිය වන විට මාලිංග හට ශාරීරික යෝග්‍යතාවය ගැටලුවක් විය හැකි වුවත් ඔහුගේ දක්‍ෂතාවය නම් එහි දී ගැටලුවක් නොවනු ඇති බව නොඅනුමාන ය. ඒ අනුව මාලිංග එම තරගාවලියට ක්‍රීඩා කරනවා ද යන්න ඔහු තවත් එක් ලෝක කුසලානයක් සඳහා සූදානම් ද යන්න මත රඳා පවතිනු ඇත. 

MS Dhoni

MS Dhoni (ඡායාරූපය: https://www.dnaindia.com/)

Dhoni පිළිබඳව අනුමාන කිරීම තරමක් අපහසු කටයුත්තක් වුවත් IPL තරගාවලිය සහ පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය මෙම වසරේ අප්‍රේල් සහ ඔක්තෝබර් මාසවල පැවැත්වීමට පළමුව සැලසුම් කර තිබීමත් සමඟ ඔහු හැකි උපරිම ජයග්‍රහණයකුත් සමඟින් සිය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට සැලසුම් කර තිබෙන්නට ඇති බව ඔබට සිතෙන්නට ඇත. 

කෙසේ නමුත් තරගාවලිය කල් යාමත් සමඟ අප මෙහි දී කතා කරන්නේ තවත් සම්පූර්ණ වසරක කාලයක් පිළිබඳව වන අතර පසුගිය 2019 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වාම ඔහු ඉන්දියාව වෙනුවෙන් කිසිදු තරගයක් සඳහා ක්‍රීඩා කර නොමැත. 

ලබන වසරේ ලෝක කුසලාන තරගාවලිය වන විට ඔහුගේ වයස අවුරුදු 40ක් වනු ඇති අතර ඒ සඳහා කණ්ඩායමේ සිය ස්ථානය වෙන්කර ගැනීමට නම් ඔහුට ඊට පෙර පැවැත්වෙන IPL තරගාවලි දෙකේම සුපිරි දස්කම් දැක්වීමට සිදු වනු ඇති බව නොඅනුමාන ය. ඒ අනුව එය අපහසු කාර්යයක් වුවත් Dhoni පිළිබඳව සලකා බැලීමේ දී ඔහුට එය සිදු කිරීමට නොහැකි වනු ඇතැයි අපට කිසිවිටෙකත් නිගමනය කිරීමට නොහැක. 

Chris Gayle සහ Dwayne Bravo

Chris Gayle සමඟින් Dwayne Bravo (ඡායාරූපය: https://www.cricketcountry.com/)

පන්දුවාර 20 තරග පිළිබඳව කතා කිරීමේ දී ඕනෑම කෙනෙකුගේ සිහියට නැගෙන ක්‍රීඩකයෙකු වන Gayle වයස අවුරුදු 41 අභියස සිටියත් ඔහුගේ වයස සිය ප්‍රහාරාත්මක පිතිකරණයට එතරම් අභියෝගයක් වී නොමැත. 

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තවත් කාලයක් රැඳී සිටීම පිළිබඳව අවස්ථාවන් කිහිපයක දීම ඉඟි පළකර ඇතත්, ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔහු ඉතා වාසනාවන්ත වනු ඇත. ඒ මන්දයත්, ඔහුගේ ස්ථානයට කණ්ඩායම තුළ මේ වන විටත් විශාල තරගයක් පැවතීමයි. ඒ අනුව තරගාවලිය සඳහා සංචිතයට ඇතුළත් වීමට නම් ඔහුට අඛණ්ඩ දක්‍ෂතාවලට අමතරව වාසනාව ද අත්‍යාවශ්‍ය වනු ඇති අතර ඒ සඳහා මෙහි දී ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ මට්ටමක පැවතීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අප අමතක නොකළ යුතුය. 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටි Gayleගේ පරණ සගයෙකු වන Bravo මෙම වසරේ මුල භාගයේ දී නැවතත් ක්‍රීඩාව වෙත පිවිසියේ මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අරමුණ ඇතිවයි. 

ඔහුගේ එම නැවත ආගමනයේ සිට මේ දක්වා ඔහු 7.15ක ලකුණු ලබා දීමේ වේගයක් යටතේ කඩුලු 7ක් දවා ගැනීමට සමත්ව ඇත. ලෝක කුසලාන තරගාවලියට පෙර IPL තරගාවලියක් මෙන්ම කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබූ බැවින් Bravo ඒ සඳහා දැඩි උනන්දුවකින් පසු වූ බව නොඅනුමාන ය. 

කෙසේ නමුත් ලෝක කුසලානය කල් යාමේ සිදුවීමට අදාළව ඔහු ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න අපට ඉදිරියේ දී බලා ගැනීමට හැකි වනු ඇත. ඔහුගේ පැත්තෙන් සලකා බැලීමේ දී ඔහු සතුව මේ වන විට ඇති හොඳම අවස්ථාව වන්නේ හැකි තරම් ලීග් තරගාවලිවල ක්‍රීඩා කරමින් ඉහළ දක්‍ෂතා දක්වමින් ඔහු සහ ඔහුට ම ආවේණික වූ හැකියාවන් ගොන්නට කණ්ඩායම තුළ ඉඩක් ඇති බවට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පරිපාලනයට වටහා දීම වනු ඇති බව නොඅනුමාන ය. 

Mohammad Hafeez සහ Shoaib Malik 


Mohammad Hafeez සහ Shoaib Malik (ඡායාරූපය: https://indianexpress.com/)

පාකිස්තානයේ Hafeez සහ Malik දෙදෙනා මෙම වසරේ තරගාවලියේ දී ක්‍රීඩාවට සමුදෙනු ඇතැයි බොහෝ දෙනාගේ අනුමානය විය. කෙසේ නමුත් එළඹෙන ඔක්තෝබර් මාසයේ දී සිය 40 වැනි උපන් දිනය සමරන Hafeez මීට පෙර පවසා සිටියේ තරගාවලිය කල් යන්නේ නම් ඔහු සිය විශ්‍රාම ගැනීම ප්‍රමාද කරන බවයි. කෙසේ නමුත් තවත් වසරක කාලයකින් කණ්ඩායමේ සැලසුම් වලට ඔහු ඇතුළත් වනු ඇත්දැයි යන්න තවමත් නිශ්චිත නොවන අතර අනෙක් පසින් එළඹෙන පෙබරවාරි මාසයේ 39 සිය 39 වැනි උපන් දිනය සමරන Malik හට ද එය ඒ ආකාරයටම අදාළ වනු ඇත. 

පසුගිය මාස කිහිපය තුළ ඔවුන් දෙදෙනා වෙනුවට වෙනත් දක්‍ෂ තරුණ ක්‍රීඩකයින් රැසක් පාකිස්තානය සොයාගැනීමට ද සමත්ව සිටින අතර තවදුරටත් Hafeez සහ Malik දෙදෙනා අතර ක්‍රීඩා විලාශයට අදාළව පවතින සමානතා හේතුවෙන් ඔවුන් දෙදෙනාවම එකවර කණ්ඩායමට ඇතුළත් කිරීම ද ගැටලුවක් විය හැකිය. කෙසේ නමුත් තරගාවලිය දක්වා ඉහළ දක්‍ෂතා අතර රැඳී සිටීමට සමත් වුවහොත් ඔවුන් දෙදෙනාට කණ්ඩායම තුළ අවස්ථාවක් හිමි වීමට ද ඉඩකඩක් ඇත. 

තවත් කියවන්න;

Faf du Plessis සහ AB de Villiers

Faf du Plesis සහ AB de Villiers (ඡායාරූපය: https://bleacherreport.com/)

Du Plesis විසින් 2020 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය දැරීමට ඔහුට ඇති කැමැත්ත පිළිබඳව මීට පෙර ප්‍රකාශ කර ඇත. 

කෙසේ නමුත් ඒ මීට දීර්ඝ කාලයකට පෙර වන අතර මේ වන විට ඔහු වෙනුවට Quinton de Kock කණ්ඩායමේ නායකත්වය හිමිකරගෙන ඇත. ලබන වසරේ ලෝක කුසලාන තරගාවලිය වන විට Du Plesis 37 වැනි වියේ පසුවනු ඇති අතර ඒ වන විට කණ්ඩායම ඉදිරියට රැගෙන යාමට හැකි වෙනත් දක්‍ෂ තරුණ ක්‍රීඩකයින් පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රිකට් පරිපාලනය අවධානය යොමුකර නැතැයි අනුමාන කිරීම තරමක් අපහසු කටයුත්තකි. 

De Villiers පිළිබඳව සලකා බැලීමේ දී තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණි. ඔහු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වීමේ අනුමානය මේ වන විට තවදුරටත් ප්‍රමාද වී ඇති නමුත් ඔහු ලීග් තරගාවලි සඳහා දිගින් දිගටම ක්‍රීඩා කරනු ඇත. ලබන වසරේ තරගාවලිය වන විට 37 වැනි වියේ පසුකරමින් සිටින ඔහුට වයස සැලකිය යුතු ගැටලුවක් නොවනු ඇති අතර ඒ අනුව ගැටලුව වන්නේ ඔහුට ඒ සඳහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය ද නැත්ද යන්න පමණකි. 

ESPN Cricinfo වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<